Latest News

දුර්ලභ “අවර වවුලා” වසර 58කට පසු ශ්‍රී ලංකාවෙන් නැවත සොයාගනියි

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ශ්‍රී ලංකාවේ ඉතා දුර්ලභ වවුල් විශේෂයක් වන “අවර වවුලා” හෙවත් “ටිකෙලිගේ වවුලා” (Hesperoptenus tickelli) වසර 58කට පසුව නැවත සොයාගැනීමට හැකි වී තිබෙනවා.

ඒ කොළඹ විශ්වවිද්‍යාලයේ සත්ත්ව විද්‍යා අධ්‍යනාංශයේ වවුලන් පිළිබඳ ප්‍රවීණ පර්යේෂක ආචාර්ය තාරක කුසුමින්ද මහතා විසින් කරන ලද හෙළිදරව්වකට අනුවයි.

1963 වසරෙන් පසුව මෙරටින් වාර්තා නොවූ මෙම වවුල් විශේෂය, ජාත්‍යන්තර ස්වභාව සංරක්ෂණ සංගමයේ රතු දත්ත ලේඛනයේ ‘දත්ත වාර්තා නොමැති විශේෂයක්’ ලෙස වර්ගීකරණය කර තිබුණා.

මෙම නව සොයාගැනීම තුළින් මෙම වවුල් විශේෂය තවමත් ශ්‍රී ලංකාවේ පැවැත්ම තහවුරු කර තිබෙනවා.

වෙස්පර්ටිලියෝනිඩේ කුලයට අයත් වන මෙම කුඩා ශරීර ප්‍රමාණයක් සහිත වවුල් විශේෂය, ඈත අතීතයේදී මෙරට වියළි, තෙත් සහ අතරමැදි කලාපීය පරිසර පද්ධතිවල බහුලව දක්නට ලැබුණු සතෙක් වනවා.

1963 වසරට පෙර හමු වූ මෙම වවුල් විශේෂයේ නිදර්ශක කොළඹ ජාතික කෞතුකාගාරයේ සුරක්ෂිතව තබා තිබෙනවා.

වර්තමාන සොයාගැනීම්වලට අනුව, මෙම වවුල් විශේෂයට අයත් සතුන් තිදෙනෙකු වෙන වෙනම ස්ථාන තුනකින් වාර්තා වී තිබෙනවා.

ඒ අනුව කුරුවිට එක්හැලිගොඩ, මහනුවර හල්ලොලුව සහ කොළඹ හෝකන්දර යන ප්‍රදේශවලින් මෙම සතුන් හමු වී තිබෙන බවයි වාර්තා වන්නේ.

ආචාර්ය කුසුමින්ද මහතාගේ පැහැදිලි කිරීම්වලට අනුව, අවර වවුලන්ගේ ජීව විද්‍යාත්මක ලක්ෂණ පිළිබඳව සැලකිය යුතු කරුණක් වන්නේ ඔවුන් උසින් වැඩි, විශාල පත්‍ර සහිත ශාකවල පත්‍ර අතර සැඟවී ජීවත් වීමේ ස්වභාවයයි.

කෙසේ වෙතත්, වසර 58ක කාලයක් තිස්සේ මෙම සතුන් පිළිබඳ නිරීක්ෂණ දත්ත නොමැති වීම හේතුවෙන් ඔවුන්ගේ හැසිරීම් රටා, වාසස්ථාන තේරීම් සහ ජීවන රටා පිළිබඳව පවතින්නේ සීමිත තොරතුරු ප්‍රමාණයක්.

මෙම වැදගත් සත්ත්ව විද්‍යාත්මක සොයාගැනීම සඳහා කොළඹ විශ්වවිද්‍යාලයේ විශ්‍රාමික මහාචාර්ය විපුල බණ්ඩාර යාපා, චාමර අමරසිංහ, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය තිලකවංශ චන්ද්‍රතිලක, රුහුණු විශ්වවිද්‍යාලයේ ආචාර්ය අමානි මාන්නක්කාර, තරුණ ජීවවේදීන්ගේ සංගමයේ පසිඳු අබේගුණවර්ධන, විතානගේ සෙන්තිල සහ විවෘත විශ්වවිද්‍යාලයේ සමීර අබේරත්න යන මහත්ම මහත්මීන්ගේ සහයෝගය ලැබී තිබෙනවා.

මෙම සොයාගැනීම ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්වය පිළිබඳ අධ්‍යයනයට සැලකිය යුතු දායකත්වයක් සපයන අතර, විශේෂයෙන් වවුලන් පිළිබඳ පර්යේෂණ ක්ෂේත්‍රයේ වැදගත් සන්ධිස්ථානයක් ලෙස සැලකිය හැකියි.

මෙවැනි දුර්ලභ සත්ත්ව විශේෂ ආරක්ෂා කර ගැනීම සඳහා දිගුකාලීන සංරක්ෂණ වැඩපිළිවෙලක අවශ්‍යතාවය මෙමගින් පෙන්නුම් කරනවා.

World News

Send your contact Details Today