තායිවානයේ චිං චුවාන් කාං ගුවන් හමුදා කඳවුරේදී සිදුවූ අවාසනාවන්ත සිදුවීමක් හේතුවෙන් වයස 41ක් වූ ගුවන් හමුදා නිලධාරිනියක් ජනවාරි 21 වන දින මියගොස් තිබෙනවා.
සාමාන්‍ය තත්ත්ව පරීක්ෂාවක් සිදු කරමින් සිටියදී යුද ගුවන් යානා එන්ජිමකට හසුවීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
තායිචුං හි පිහිටි චිං චුවාන් කාං ගුවන් හමුදා කඳවුරේදී මෙම අවාසනාවන්ත සිදුවීම වාර්තා වුණා.
හු යන වාසගමින් හඳුන්වන මෙම නිලධාරිනිය, දේශීයව නිෂ්පාදිත ආරක්ෂක යුද ගුවන් යානයක් (Indigenous Defense Fighter – IDF) ගොඩබැස්සීමෙන් පසු එහි තත්ත්ව පරීක්ෂාවක් සිදු කරමින් සිටියදී මෙම අනතුර සිදුව තිබෙනවා.
ගුවන් හමුදා මූලස්ථානයේ නිවේදනයකට අනුව, යානයේ එන්ජිම් නිවා දැමීමට පෙර පරීක්ෂණ කටයුතු ආරම්භ කිරීම හේතුවෙන් මෙම මරණීය අනතුර සිදුව තිබුණා.
සාජන්ට් හු වහාම ආසන්න රෝහලකට ඇතුළත් කළද පෙරවරු 11.40ට ඇය මියගිය බව ප්‍රකාශයට පත් කළ අතර මෙම පුවත ඇසූ විට ඇගේ මව කඳුළු සලමින් කණගාටුවට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.
මෙම මරණය සිදුවීමට තුඩු දුන් හේතු තවමත් පැහැදිලි නැති අතර ඒ පිළිබඳව පරීක්ෂණ පැවැත්වෙමින් පවත්හිනවා.
එරට මාධ්‍ය වාර්තා කර ඇති පරිදි, හු මහත්මිය තායිවාන හමුදාවේ වසර 18ක සේවා කාලයක් සපුරා ඇති අතර, 2024 වසරේදී කාර්යාල රාජකාරියකින් ක්ෂේත්‍ර ඒකකයකට මාරු කර යවා තිබෙනවා.
ගුවන් හමුදාව මෙවැනි සිදුවීම් අනාගතයේදී වැළැක්වීම සඳහා සවිස්තරාත්මක පරීක්ෂණයක් සහ ක්‍රියාපටිපාටි සමාලෝචනයක් සිදු කිරීමට පොරොන්දු වී තිබෙනවා. “අපි පරීක්ෂණ බලධාරීන් සමඟ සම්පූර්ණයෙන් සහයෝගයෙන් කටයුතු කරන අතර නිලධාරිනියගේ පවුලට සම්පූර්ණ සහය ලබා දෙන්නෙමු,” යනුවෙනුයි ගුවන් හමුදා මූලස්ථානය ප්‍රකාශ කර සිටියේ.
පුහුණුකරුවෙකු යානයේ ත්‍රොට්ල් එක මත පය තැබීමෙන් අනතුර සිදුවූ බවට මාධ්‍ය මගින් පළ කරන ලද අනුමාන ගුවන් හමුදා මූලස්ථානය විසින් ප්‍රතික්ෂේප කරන ලද අතර, සත්‍යාපනය නොකළ තොරතුරු නොපැතිරවීමට මහජනතාවගෙන් ඉල්ලා සිටියා.
ආරක්ෂිත පියවරක් ලෙස මධ්‍යම ගුවන් හමුදා කඳවුර විසින් IDF යුද ගුවන් යානා මෙහෙයුම් තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.
තායිවානයේ ගුවන් අභ්‍යවකාශ කාර්මික සංවර්ධන සංස්ථාව විසින් සංවර්ධනය කරන ලද IDF යානා, ද්විත්ව එන්ජිම් සහිත, සියලු කාලගුණික තත්ත්වයන්ට සුදුසු, බහුකාර්ය සටන් යානයක්.
1980 දශකයේදී දේශීයව නිෂ්පාදනය කරන ලද, අඩු පිරිවැයකින් ඉහළ කාර්යසාධනයක් ලබා දීම සඳහා නිර්මාණය කර ඇති මෙම යානා, පැරණි එක්සත් ජනපද නිර්මිත F-104 සහ F-5 යානා වෙනුවට යොදා ගැනීමට අදහස් කර තිබුණ බවයි නිව්ස්වීක් වාර්තා කර ඇත්තේ.
චීන ආක්‍රමණයකට එරෙහිව සූදානම් වීම සඳහා මෙම යානා නිතිපතා හමුදා අභ්‍යාසවලදී භාවිතා කෙරෙනවා.
පසුගිය මාසයේදී, තායිවාන ගුවන් හමුදාව චිං චුවාන් කාං කඳවුරේදී IDF යුද ගුවන් යානාවල සටන් සූදානම පරීක්ෂා කිරීම සඳහා “හදිසි ගුවන්ගත වීමේ” සහ රාත්‍රී පුහුණු අභ්‍යාස සංවිධානය කර තිබුණා.
පසුගිය දෙසැම්බර් මාසයේදී IDF යානා ප්‍රංශ ගුවන් නියමුවන් සමඟ පැවැත්වූ ඒකාබද්ධ අභ්‍යාසවලටද ඇතුළත් කර තිබුණා.