යුක්රේන යුද්ධය අවසන් කර සාම සාකච්ඡා මේසයට පැමිණෙන ලෙස අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, රුසියාවට කළ යෝජනාවට පළමුවරට ප්‍රතිචාර දක්වමින් සාම සාකච්ඡා මේසයට පැමිණීමට ප්‍රථමයෙන් අමෙරිකාව ඉදිරිපත් කරන සටන් විරාම ගිවිසුමේ කොන්දේසි මොනවාදැයි දැනගත යුතු බව රුසියාව ප්‍රකාශ කර තිබෙනවා.
“ඕනෙම දෙයක් අවසන් කරන්න පහසු ක්‍රමයක් මෙන්ම අසීරු ක්රමයක්ද තියෙනවා. නමුත් හොඳම ක්‍රමය වන්නේ පහසු ක්‍රමයයි. යුක්රේන යුද්ධය අවසන් කරමින් ගිවිසුමකට එන්න කාලේ හරි.” ජනපති ට්‍රම්ප් ඔහුගේ ටෘත් සෝෂල් වේදිකාවේ සටහනක් තබමින් පසුගියදා පැවසුවා.
සාම සාකච්ඡා මේසයට නොපැමිණෙන්නේ නම් රුසියාව අලෙවි කරන සියලුදේට ඉහළ මට්ටමේ බදු, තීරුබදු සහ සම්බාධක පනවන බව ට්‍රම්ප් ප්‍රකාශ කළා.
සාකච්ඡා මේසයට පැමිණීමට ප්‍රථමයෙන් ජනපති ට්‍රම්ප් සටන් විරාම ගිවිසුමක් ලෙස දකින්නේ කුමක්දැයි රුසියාව දැනගතයුතු බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ රුසියානු නියෝජ්‍ය තානාපති දිමිත්‍රි පොල්යන්ස්කි සඳහන් කරනවා.
රුසියාව සටන් විරාම ගිවිසුමක් ලෙස දකින්නේ යුක්රේන අර්බුදයට මුල් වූ හේතු වලට විසඳුම් ලබාදීම පමණක් බවයි ඔහු පැවැසුවේ.
යුක්රේනය සමග සටන් වැදීමට රුසියාවට පැමිණි උතුරු කොරියානු සොල්දාදුවන් 11,000 තුන්දහසක් මේ වනවිට තුවාල ලබා, අතුරුදන් වී හෝ සතුරන්ගේ ග්‍රහණයට ලක්වී ඇති බවටත් තවත් දහසක් යුක්රේන පාර්ශවය අතින් ඝාතනයට ලක්ව ඇති බවටත් පළවන වාර්තා හමුවේ රුසියාව මෙම ප්‍රතිචාරය ලබාදී තිබෙනවා.