ගාසාව විනාශ කරමින්, මැදපෙරදිග ගිනිබත් කරමින් ක්‍රියාත්මක මාස 15 ක් පැරණි යුද්ධයක සටන් විරාමයේ පළමු දිනය වූ ඊයේ (19 ඉරිදා) දිනය වන විට නිදහස් කළ ප්‍රාණ ඇපකරුවන් ගණන 93 ක් වන බව විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කරනවා.
ඒ අනුව හමාස් සංවිධානය නිදහස් කළ ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් ගණන තිදෙනෙකු වන අතර ඊශ්‍රායලය විසින් පලස්තීන සිරකරුවන් 90 දෙනෙකු නිදහස් කළ බව සඳහන්.
සටන් විරාමය තුළ පලස්තීනුවන්ට සිය ප්‍රදේශවලට පැමිණ ඔවුන්ගේ ජීවිත නැවත ගොඩනඟා ගැනීමට ඉඩ සලසා ඇති බවත්, ට්‍රක් රථ මඟින් අත්‍යවශ්‍ය ආධාර ලබාදෙමින් සිටින බවයි වාර්තා වන්නේ.
විදෙස් වාර්තාවන්ට අනුව පලස්තීන සිරකරුවන් රැගත් බස් රථ බටහිර ඉවුරේ රාමල්ලා වෙත ළඟා වන විට, ඔවුන් පිළිගැනීමට රැස්ව සිටි දහස් ගණනක් ජනතාව ගිනිකෙළි සංදර්ශන පවත්වමින් සිය සතුට සමරන අයුරුයි දක්නට ලැබුණේ.
ඊශ්‍රායලය විසින් නිදහස් කළ පිරිස් අතරට කාන්තාවන් 69 දෙනෙකු සහ නව යොවුන් වියේ පිරිමි ළමුන් 21 දෙනෙකු අයත් බව සඳහන්.
එමෙන්ම ගාසා තීරයේ සජීවී විකාශනයක් මගින් පෙන්නුම් කළේ, හමාස් සටන්කරුවන් විසින් වට කරන ලද රතු කුරුසයේ වාහනයකට කාන්තා ප්‍රාණ ඇපකරුවන් තිදෙනෙකු ඇතුළු වන ආකාරයයි.
ඒ, සිය ගණනක් ඊශ්‍රායල ජාතිකයින් ඔල්වරසන් දෙමින් හඬා වැටෙන මොහොතකයි.
ඊශ්‍රායල හමුදාව නිවේදනය කර ඇත්තේ රෝමි ගොනන්, ඩොරන් ස්ටයින්බ්‍රෙචර් සහ එමිලි ඩමාරි යන තිදෙනා එලෙස ඔවුන්ගේ පවුල් සමඟ නැවත එක් වූ බවත් ඔවුන් හොඳ සෞඛ්‍ය තත්වයෙන් සිටින බවයි.
2023 වසරේ ඔක්තෝබර් 7 වන දින ඊශ්‍රායලයට එල්ල වූ හමාස් ප්‍රහාරයකින් පැහැරගත් පිරිස 250 කට අධික වන අතර මිය ගිය ගණන 1,200 ඉක්මවනවා.
ගාසා හි වාර්තාවන්ට අනුව, එතැන් සිට ඊශ්‍රායල ප්‍රහාරවලින් පලස්තීනුවන් 47,000 කට වැඩි පිරිසක් මිය ගොස් තිබෙනවා.
එමෙන්ම ගාසා හි නිවාස නොමැතිව සරණාගතභාවයට පත් පිරිස මිලියන 2.3 කට ආසන්නයි.
ගැටුමෙන් මිය ගිය ඊශ්‍රායල සොල්දාදුවන් ගණන 400 කට වැඩි බවයි කියවෙන්නේ.
මාස ගණනක ගැටුම් හමුවේ ක්‍රියාත්මක පළමු සටන් විරාමය මඟින් සටන් නැවැත්වීම, ගාසා තීරයට ආධාර යැවීම සහ ඊශ්‍රායල බන්ධනාගාරවල රඳවා සිටින පලස්තීන සිරකරුවන් නිදහස් කිරීම අරමුණු කරගන්නා බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.
එමෙන්ම අද (20) එක්සත් ජනපද ජනාධිපති ධුරයට තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පදවි ප්‍රාප්ති උත්සවයට පෙර දින සටන් විරාමය ක්‍රියාත්මක වීම සුවිශේෂී වනවා.