Latest News

HMPV ගැන චීනයෙන් නවතම නිල නිවේදනයක්

Published 1 day ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

උතුරු චීනයේ හියුමන්මෙටාන්යුමෝවයිරස් (HMPV) ආසාදනවල අනුපාතය අඩු වෙමින් පවතින බව එරට නිල සෞඛ්‍ය නිලධාරි කණ්ඩායමක් ඉරිදා (12) දින ජාත්‍යන්තර මාධ්‍ය හමුවේ පැවසුවා.

මෙය වසංගතයක් ලෙස පැතිරේද යන අනියත සැකය මතුකරමින් පැවතියදී ජාත්‍යන්තර අවධානයක් මධ්‍යයේ සිදුකළ නිල ප්‍රකාශයක් වනවා.

ශ්වසන සින්සිටියල් වෛරසය සමඟ එකම පවුලට අයත් HMPV මගින් උණ, කැස්ස සහ නාසය සිරවීම වැනි උණ හෝ සෙම්ප්‍රතිශ්‍යා ආකාර ලක්ෂණ ඇති කරනවා.

මෙම රෝග ලක්ෂණ බොහෝවිට ස්වයංව සුව වන නමුත්, ළමුන්, වැඩිහිටියන් සහ ප්‍රතිශක්තිකරණය අඩු පුද්ගලයන් අතර පහළ ශ්වසන මාර්ග ආසාදන ඇති කළ හැකියි.

“හියුමන් මෙටාන්යුමෝ ” නව වයිරසයක් නොවන බවත්, අවම වශයෙන් දශක කිහිපයක් තිස්සේ මිනිසුන් සමඟ පැවතී ඇති පුරුදු දෙයක් බවත්,” චීන රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානයේ පර්යේෂකයෙකු වන වැන්ග් ලිපිං මහත්මිය චීන ජාතික සෞඛ්‍ය කොමිසම පැවැත්වූ මාධ්‍ය හමුවේදී පැවසුවා.

2001 දී නෙදර්ලන්තයේදී මුලින්ම හඳුනාගත් මෙම වයිරසයේ රෝග කාරක සංඛ්‍යාව මෑත වසරවල වැඩි වීමට හේතුව වඩා හොඳ හඳුනාගැනීමේ ක්‍රම හේතු වී ඇති බව ඇය එක් කළා.

“දැනට හියුමන් මෙටාන්යුමෝවයිරස් හඳුනාගැනීමේදී ධනාත්මක රෝග කාරක අනුපාතය උච්චාවචනය වන අතර, උතුරු පළාත්වල ධනාත්මක රෝග කාරක අනුපාතය පහළ යමින් පවතිනවා, වයස අවුරුදු 14ට අඩු රෝගීන් අතර ධනාත්මක රෝග කාරක අනුපාතය පහළ යාමට පටන් ගෙන තිබෙනවා,” ලෙසයි ඇය එහිදී පැවසුවේ.

මුහුණු ආවරණ පැළඳගත් රෝගීන්ගෙන් රෝහල් පිරී ඇති ආකාරය පෙන්වන රූප අන්තර්ජාලයේ සංසරණය වීමෙන් පසු උතුරු චීනයේ HMPV ආසාදන ඉහළ යාම පිළිබඳ සැකයක් මෑත දිනවල මතු වුණා.

නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානය පවසා ඇත්තේ චීනයේ හෝ වෙනත් ස්ථානවල අසාමාන්‍ය වසංගත පිළිබඳ වාර්තා ලැබී නොමැති බවයි.

විශේෂඥයින් පවසන්නේ HMPV, COVID-19 වලට වඩා වෙනස් වන්නේ එය දශක ගණනාවක් තිස්සේ පැවතිමත් ඒ සඳහා යම් ස්වාභාවික ප්‍රතිශක්තියක් තිබිමත් නිසායි.

බොහෝ ළමුන් වයස අවුරුදු 5 වන විට මෙම වෛරස් ආසාදිතයින් වනවා.

දැනට චීනයේ ජනතාවට බලපාන ශ්වසන රෝග දන්නා රෝග කාරකයන්ගෙන් ඇති වන බවත්, නව සංක්‍රාමික රෝග කිසිවක් පැන නැගී නොමැති බවත් වැන්ග් අවධාරණය කරමින් පැවසුවා.

රට පුරා උණ සායන සහ හදිසි අනතුරු අංශවල රෝගීන් සංඛ්‍යාව ඉහළ යමින් පවතින නමුත්, පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව සාමාන්‍යයෙන් අඩු මට්ටමක පවතින බව මෙම මාධ්‍ය හමුවට එක්වූ සෞඛ්‍ය කොමිසමේ වෛද්‍ය හදිසි ප්‍රතිචාර දැක්වීමේ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ගාඕ සින්කියැන්ග් පැවසුවා.

ඒ අනුව රට පුරා උණ ආසාදන ජනවාරි මැද සිට අග දක්වා ක්‍රමයෙන් අඩු වනු ඇතැයි ඔවුන් විශ්වාසය පළ කර තිබෙනවා.

HMPV සඳහා එන්නත් හෝ ඖෂධ කිසිවක් නොමැති අතර වෛරසය සහ අනෙකුත් ශ්වසන රෝග වැළඳීම වැළැක්වීම සඳහා නිතිපතා අත් සේදීම, හැකි නම් ජන ගැවසෙන ස්ථානවලින් වැළකීම සහ ජනාකීර්ණ ස්ථානවල මුඛ ආවරණයක් පැළඳීම වැනි පූර්වාරක්ෂක පියවර ගන්නා ලෙස විශේෂඥයෝ නිර්දේශ කරනවා.

World News