Latest News

බ්‍රිතාන්‍ය රජයෙන් කළ ඉල්ලීමක්, එංගලන්ත ක්‍රිකට් ආයතනයෙන් ප්‍රතික්ෂේප කරයි

Published 15 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඇෆ්ගනිස්තානය සමඟ පැවැත්වීමට නියමිත චැම්පියන්ස් ටෘෆි තරගය වර්ජනය කරන ලෙස බ්‍රිතාන්‍ය දේශපාලනඥයන්ගෙන් එල්ල වූ ඉල්ලීම් එංගලන්ත හා වේල්ස් ක්‍රිකට් මණ්ඩලය (ECB) ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ඒ මෙවැනි ක්‍රියාමාර්ග සඳහා “ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් මෙහෙයවනු ලබන සම්බන්ධීකරණ ප්‍රතිචාරයක්” අවශ්‍ය බව පවසමින්.

ඒ අනුව ලේබර් පක්ෂ මන්ත්‍රී ටෝනියා ඇන්ටොනියාසි, ජෙරමි කෝබින්, ලෝර්ඩ් කිනොක් සහ නයිජල් ෆරාජ් ඇතුළු පක්ෂ දේශපාලනඥයින් 160කට අධික පිරිසක් විසින් අත්සන් කරන ලද ලිපියකට පිළිතුරු දෙමින් ECB හි ප්‍රධාන විධායක රිචඩ් ගෝල්ඩ් මහතා මේ බව සඳහන් කර තිබෙනවා.

තාලිබාන් පාලනය යටතේ ස්ත්‍රී අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සහ 2021 සිට ක්‍රියාත්මක කර ඇති කාන්තා ක්‍රීඩා තහනම පිළිබඳව මෙම ලිපියෙන් අවධානය යොමු කර තිබෙනවා.

ඒ අනුව පෙබරවාරි 26 වන දින ලාහෝර් නුවරදී පැවැත්වීමට නියමිත ඉංගලන්තයේ දෙවන තරඟය වර්ජනය කිරීමෙන් ඇෆ්ගන් කාන්තාවන් සහ ගැහැණු දරුවන් වෙනුවෙන් “සහයෝගීතාවයේ තද පණිවිඩයක්” ලබා දෙන ලෙස ECB වෙතින් ඉල්ලා තිබෙනවා.

“තාලිබාන් පාලනය යටතේ ඇෆ්ගනිස්තානයේ කාන්තාවන් සහ ගැහැණු දරුවන්ට සිදුවන සැලකීම ECB දැඩි ලෙස හෙළා දකින්නේය” යනුවෙන් ගෝල්ඩ් මහතා පිළිතුරු ලිපියේ සඳහන් කර තිබුණා.

කෙසේ වෙතත්, ECB විසින් ඇෆ්ගනිස්තානය සමඟ ද්විපාර්ශ්වික තරඟ සංවිධානය නොකරන අතර, ICC තරඟාවලිවල සහභාගීත්වය ගෝලීය ක්‍රිකට් ආයතනය විසින් පාලනය කරනු ලබන බව ඔහු අවධාරණය කර තිබෙනවා.

“තනි තනි සාමාජිකයින්ගේ ඒකපාර්ශ්වික ක්‍රියාමාර්ගවලට වඩා සම්බන්ධීකරණය කරන ලද ICC පුළුල් ප්‍රවේශයක් වඩාත් බලපෑම් සහගත වනු ඇති” බවයි ගෝල්ඩ් මහතා එහිදී පෙන්වා දී ඇත්තේ.

මෙම විවාදය 2003 ලෝක කුසලාන තරඟාවලියේදී රොබට් මුගාබේ පාලන සමයේ සිම්බාබ්වේ සමඟ පැවති තරඟයක් වර්ජනය කිරීමට ක්‍රීඩකයන්ට බල කෙරුණු අවස්ථාව සිහිපත් කරන අතර එහිදී තීරණය ක්‍රීඩකයන් වෙත පැවරීමෙන් අනතුරුව එංගලන්තය ලකුණු අහිමි කර ගත්තා.

ගැටුම්වලින් අවතැන් වූවන් ඇතුළු බොහෝ දෙනෙකුට ක්‍රිකට් ක්‍රීඩාව “බලාපොරොත්තුවේ සහ ධනාත්මක බවේ ප්‍රභවයක්” ලෙස පවතින බව පෙන්වා දුන් ගෝල්ඩ් මහතා, “කාන්තාවන්ගේ සහ ගැහැණු දරුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින අතරම ඇෆ්ගන් සමාජය කෙරෙහි ඇති පුළුල් බලපෑම හඳුනා ගැනීම වැදගත්” බව සඳහන් කර තිබෙනවා.

ඇෆ්ගනිස්තානයේ කාන්තාවන්ට සිදුවන සැලකීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රියාමාර්ග සඳහා පෙනී සිටිමින් බ්‍රිතාන්‍ය රජය, ICC සහ අනෙකුත් පාර්ශවකරුවන් සමඟ සාකච්ඡා දිගටම පවත්වා ගෙන යන බව ECB වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

World News