චීනයට අයත් ටිබෙට් රාජ්‍යයේ ෂිගස්තේ නගරයට බලපෑ ප්‍රබල භූකම්පනයෙන් ආපදාවන්ට ලක් වූ ප්‍රදේශ වෙත චීන මධ්‍යම රජය විසින් සපයන ලද ප්‍රථම සහන සැපයුම් තොගය ළඟා වී තිබෙනවා.
ඒ අනුව එම සහන සැපයුම් තොගය ඊයේ (07) රාත්‍රීයේ එම ප්‍රදේශ වෙත ළඟා වී ඇති බව සඳහන්.
අදාළ සහන සැපයුම් සපයා තිබුණේ චීනයේ හදිසි කළමනාකරණ අමාත්‍යාංශය, ආහාර හා තැන්පත් කිරීමේ ජාතික පරිපාලනය ඇතුළු ආයතන විසින්.
ඒ අනුව 6,000කට ආසන්න කූඩාරම්, ඇඳ ඇතිරිලි මෙන්ම ඇඳුම් ද ඊට ඇතුළත් අතර තවත් 16,000ක පමණ සහන තොගයක් අද (08) එම ප්‍රදේශ වෙත ළඟා වීමට නියමිතයි.
කෙසේවෙතත් භූකම්පනයෙන් අවහිර වූ මාර්ග සියල්ල මේවන විට යථා තත්ත්වයට පත් කර ඇති බවයි චීන මාධ්‍ය පැවසුවේ.
චීනයට අයත් ටිබෙට් රාජ්‍යයේ ෂිගස්තේ නගරයට බලපෑ රික්ටර් මාපකයේ ඒකක 7.1ක ප්‍රබලත්වයෙන් යුතු භූකම්පනයකින් පුද්ගලයින් 53 දෙනෙක් මියගොස් තිබෙනවා.
එරට වේලාවෙන් ඊයේ (07) උදෑසන 9.05ට පමණ සිදුවූ මෙම භූකම්පනයේ අපිකේන්ද්‍රය පොළොව මට්ටමේ සිට කිලෝමීටර් 10ක් පමණ ගැඹුරින් පැවති බවයි වාර්තා වන්නේ.
එහි බලපෑම අපිකේන්ද්‍රයේ සිට කිලෝ මීටර් 400ක් පමණ දුරින් පිහිටා ඇති නේපාලයේ කත්මණ්ඩු අගනුවරට පවා දැනී තිබුණා.
ඉන් පසුව එහි පසුකම්පන රැසක් ද වාර්තා වී තිබෙනවා.
මේ අතර මෙම භූකම්පනයෙන් මියගිය අය හා ඔවුන්ගේ ඥාතීන් වෙත සිය ශෝකය පළ කරමින් එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටෙරස් මහතා ඊයේ නිවේදනයක් නිකුත් කළා.
එමෙන්ම රුසියානු ජනපති ව්ලැදිමීර් පුටින් මහතා සහ සර්බියානු ජනාධිපති Aleksandar Vučić මහතා මෙන් ම යුරෝපා කොමිසම ද එම අවාසනාවන්ත සිදුවීම සම්බන්ධයෙන් චීනය වෙත සිය කණගාටුව පළ කර තිබෙනවා.