ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අදියරේ තරග අද (26) ආරම්භ වනවා.
මෙරට ප්‍රධාන පෙළේ ක්‍රිකට් ක්‍රීඩා සමාජ 18ක් එක්වන තරගාවලියේ මූලික වටය කාණ්ඩ දෙකකින් පැවැත්වෙන අතර, තරගාවලියේ පළමු අදියර ජූනි 10 වැනිදා සිට 22 වැනිදා දක්වා පැවැත්වුණා.
අනතුරුව ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය හේතුවෙන් මේ තරගාවලිය නතර කළ අතර, ඒ අනුව දෙවැනි අදියරේ තරග අද සිට පැවැත්වෙනවා.
මූලික වටය යටතේ තවත් තරග 32ක් ඉතිරිව ඇති අතර, එම තරග අගෝස්තු 5 වැනිදා දක්වා පැවැත්වෙනවා.
මූලික වටය අවසානයේ කාණ්ඩ දෙකේ මුල් ස්ථාන හිමි කර ගන්නා කණ්ඩායම් දෙක බැගින් ලබන මස 8 වැනිදා පැවැත්වෙන අවසන් පූර්ව වටයට එක්වන අතර අවසන් මහා තරගය 11 වැනිදා පැවැත්වෙනු ඇති.
දෙවැනි අදියර ආරම්භ කරමින් ‘බී’ කාණ්ඩයෙන් කැන්ඩි කස්ටම්ස් සහ සීසීසී කණ්ඩායම් තර්ස්ටන් පිටියේදී තරග බිමට පිවිසෙන අතර හෙට (27) තරග 6ක් පැවැත්වීමට නියමිතයි.
පළමු අදියර නිමා වන විට ‘ඒ’ කාණ්ඩයෙන් ඒස් කැපිටල් (10) පිල පෙරමුණ ගෙන ඇත්තේ ක්‍රීඩා කළ තරග 5ම ජය ගනිමින්.
එන්සීසී (6) සහ එස්එස්සී (5) පිළිවෙළින් එහි දෙවැනි සහ තෙවැනි ස්ථානවල පසුවනවා.
සීසීසී පිල (9) තරග 5කදී ජයග්‍රහණ 4ක් සහ විසඳුමෙන් තොර තරගයක් සමඟ ‘බී’ කාණ්ඩයේ පෙරමුණේ පසුවන අතර කෝල්ට්ස් (8) සහ මුවර්ස් (6) දෙවැනි සහ තෙවැනි තැන්වල සිටිනවා.
සීසීසී කණ්ඩායමේ නිශාන් මධුෂ්ක ඉනිම 5කදී ලකුණු 298ක් රැස් කරමින් පිතිකරුවන් අතරත්, වනුජ සහන් (ඒස්) තරග 5කදී කඩුලු 11ක් දවා ගනිමින් පන්දු යවන්නන් අතරත් පෙරමුණේ පසුවනවා.