Latest News

හිටපු ඉන්දීය අගමැති මන්මෝහන් සිං අභාවප්‍රාප්ත වෙයි

Published 1 day ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

හිටපු ඉන්දීය අගමැති මන්මෝහන් සිං අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මියයන විට ඔහු 92 වැනි වියේ පසු වූ බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

නවදිල්ලියේ රෝහලක කලක් ප්‍රතිකාර ලබමින් සිටි ඔහු ඊයේ (26) පස්වරුවේ ඇතිවූ හදිසි රෝගී තත්ත්වයකින් මියගොස් ඇති බවයි ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ.

ඉන්දියාවේ 13 වැනි අග්‍රාමාත්‍යවරයා වන මන්මෝහන් සිං මහතා දෙවරක් ඉන්දීය අගමැති ලෙසින් කටයුතු කර තිබෙනවා.

ප්‍රකට ආර්ථික විශේෂඥයෙක් වන ඔහු, ඉන්දීය ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ ප්‍රමුඛයෙක් ලෙස ද සැලකෙනවා.

පන්ජාබ් විශ්වවිද්‍යාලයෙන් සිය මූලික උපාධිය ලබාගත් මන්මෝහන් අනතුරුව එංගලන්තයේ කේම්බ්‍රිජ් සහ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලැබුවා.

සිය අධ්‍යාපන කටයුතුවලින් අනතුරුව ඔහු ඉන්දීය සිවිල් සේවයට එක්වී තිබුණා.

ඔහු එරට මහබැංකු අධිපති ලෙසද කටයුතු කර තිබෙනවා.

1991 වසරේදී ඉන්දීය ආර්ථිකය කඩාගෙන වැටුණු අතර එය ගොඩනැගීමේ වගකීම පැවරුණේ මන්මෝහන් ටයි.

ඒ අනුව එරට මුදල් අමාත්‍යවරයා ලෙස පත්වූ ඔහු ඉන්දීය ආර්ථිකය ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්කළා.

අද ලෝක ආර්ථිකයේ දැවැන්තයෙක්වන ඉන්දියාව ට ඒ සඳහා මග පෙන්වූවේ ඔහු බව බොහෝ දෙනා පවසනවා.

මන්මෝහන් සිං මහතා, 2004 වසරේ සිට 2014 දක්වා එරට අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළා.

ඊට පෙර ඔහු ඉන්දියාවේ මුදල් අමාත්‍යවරයා ලෙසද කටයුතු කර තිබුණා.

ඔහු 2004 වසරේදී ඉන්දියාවේ අග්‍රාමාත්‍යවරයා වශයෙන් පත් වී තිබුණේ, සෝනියා ගාන්ධි එම තනතුර භාරගැනීම ප්‍රතික්ෂේප කළ බැවින්.

හිටපු ඉන්දීය අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං ගේ විදේශ ප්‍රතිපත්ති පිළිබඳ කතා කිරීමේදී, ඔහු පාකිස්තානය සමග සාම ක්‍රියාවලිය අඛණ්ඩව ඉදිරියට ගෙන ගිය අතර මෙම ක්‍රියාවලියට පාකිස්තාන සටන්කාමීන් එල්ල කරන ලද ප්‍රහාර හේතුවෙන් බාධා ඇති වූ අතර එහි කූටප්‍රාප්තිය වූයේ , 2008 නොවැම්බරයේ මුම්බායි ප්‍රහාරයයි.

වසර 40කට වැඩි කාලයක් වසා දමා තිබූ නාතු ලා ප්‍රවේශ මර්ගය ටිබෙටය වෙත යළි විවෘත කිරීමේ ගිවිසුමකට මැදිහත් වෙමින් චීනය සමග ඇතිවූ දේශසීමා ආරවුල අවසන් කිරීමට ද ඔහු උත්සාහ කළා.

මන්මෝහන් සිං ඇෆ්ගනිස්ථානයට මූල්‍ය ආධාර වැඩි කළ අතර ඉන්දීය නායකයෙකු ලෙස ඔහු එරට සිදුකළ සංචාරය බොහෝ දෙනාගේ වැඩි අවධානයක් දිනා ගත්තා.

මන්මෝහන් සිං මහතා සාක් සමුළුවට සහභාගී වීම සඳහා 2008 වසරේදී ශ්‍රී ලංකාවට පැමිණ තිබුණා.

World News