එක්සත් ජනපදයේ ෆෙඩරල් මරණ දඬුවම නියම වී සිටි පුද්ගලයන් 37 දෙනෙකුගේ දඬුවම ලිහිල් කරමින් ඔවුන්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම පමණක් ක්රියාත්මක කිරීමට එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් තීරණය කර තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් වන නිවේදනය ජනාධිපති බයිඩ්න් විසින් ඊයේ (23) නිකුත් කළා.
මේ වන විට ෆෙඩරල් මරණ දඬුවම නියම වූ සිරකරුවන් 40 දෙනෙකු අමෙරිකාවේ බන්ධනාගාරවල රඳවා සිටියත් ඔවුන් අතරින් 37 දෙනෙකුට පමණක් මෙම දඬුවම් ලිහිල් කිරීමට කටයුතු කළ බවයි ජනාධිපති බයිඩ්න් පවසන්නේ.
මේ ආකාරයට දඬුවම් ලිහිල් කිරීමේ දී පුද්ගලයන් 3 දෙනෙකු නොසලකා හැරීමට තීරණය කර ඇත්තේ, ඔවුන් සමූහ වෙඩි තැබීම් හෝ ත්රස්තවාදී ක්රියා ඇතුළු අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් වීම හේතුවෙන්.
ඔවුන් අතර Dzhokhar Tsarnaev නැමැති 2013 දී මාරාන්තික Boston මැරතන් බෝම්බ ප්රහාරයට වගකිව යුතු සහෝදරයන් දෙදෙනෙකුගෙන් කෙනෙක් වන අතර, 2015 වසරේ දී දකුණු කැරොලිනාවේ චාර්ල්ස්ටන් හි කළු ජාතික පල්ලියකදී පුද්ගලයන් නව දෙනෙකු සමූලඝාතනය කළ සුදු ජාතිකවාදියෙකු වන ඩිලන් රූෆ් නැමැත්තා වනවා.
මීට අමතරව 2018 වසරේ දී Pittsburgh’s Tree of Life සිනගෝගයේ වන්දනාකරුවන් 11 දෙනෙකු මරා දැමූ රොබට් බෝවර්ස් ද මෙම දඬුවම් ලිහිල් නොවූ අය අතර වනවා.