ලොව වයස්ගතම ගැහැණු පක්ෂියා වයස අවුරුදු 74 දී බිත්තරයක් දමා ඇති බව එක්සත් ජනපද ජීව විද්‍යාඥයන් පවසනවා.
විස්ඩම් (Wisdom) නමැති එම ගැහැණු පක්ෂියා Laysan albatross විශේෂයට අයත් වනවා.
US Fish and Wildlife Service නමැති ආයතනය විසින් පැසිෆික් සාගර කලාපයට අයත් Midway Atoll ජාතික වනජීවී සංරක්ෂණ භූමියේදී සිදුකරන ලද රූගත කිරීමකදී එම කිරිල්ලිය පිරිමි පක්ෂියා සමග බිත්තරය රැකබලා ගන්නා අයුරු ඔවුන් නිරීක්ෂණය කර තිබෙනවා.
මෙම විශේෂයේ පක්ෂීන් සාමාන්‍යයෙන් ජීවත් වන්නේ අවුරුදු 12-40 ත් පමණ කාලයක් බවයි පැවසෙන්නේ.
එහෙත් Wisdom නමැති කිරිල්ලිය පළමුවරට හඳුනාගෙන තිබුණේ 1956 දී වන අතර, ඒ වනවිට ඇයට වයස අවුරුදු පහක් පමණ වූ බව සඳහන්.
ඇගේ අවසන් වරට බිත්තර දමා තිබුණේ 2021 වසරේදීයී.
මේ වනවිට එම කිරිල්ලිය, ඇයගේ ජීවිත කාලය තුළ බිත්තර 30 කට වඩා දමා තිබෙන බවයි වාර්තා වන්නේ.
US Fish and Wildlife Service ආයතනය පවසන්නේ, Wisdom කිරිල්ලිය මෙම වසරේ නව සහකරුවෙකු සමඟ සිටින බවයි.
ඇයගේ පෙර සහකරු ලෙස හඳුනාගෙන තිබූ Akeakamai නමැති පක්ෂියා වසර කිහිපයකින් දැකගත නොහැකි වූ බව ද එම ආයතනය පවසනවා.
මෙම විශේෂය සාමාන්‍යයෙන් ජීවිත කාලය තුළ සොයාගන්නේ එක් සහකරුවෙකු පමණක් වුවද Wisdom කිරිල්ලියට මේ වනවිට සහකරුවන් තිදෙනකුට වඩා සිටි බව විශ්වාස කෙරෙනවා.
Midway Atoll ජාතික වනජීවී සංරක්ෂණ භූමියේ අධීක්ෂණ වනජීවී විද්‍යාඥ ජෝන් ප්ලිස්නර් පවසන්නේ, විස්ඩම්ගේ වයසට ආසන්න වෙනත් පක්ෂීන් ගැන විද්‍යාඥයන් නොදන්නා බවයි.
මීට පෙර හඳුනාගෙන සිටි වයසින් වැඩි කුරුල්ලාට වයස අවුරුදු 45 ක් බවයි පැවසෙන්නේ.