බ්‍රිතාන්‍ය රජ පවුලට අයත් එංගලන්තයේ පිහිටි ලෝක ප්‍රකට වින්ඩ්සර් මාලිගාවට සොරුන් දෙදෙනකු කඩා පැන තිබෙන බව එරට මාධ්‍ය වාර්තා කරනවා.
ඔවුන් දෙදෙනා විසින් එහි තිබූ ඩබල් කැබ් රථයක් සහ රෝද හතරේ ක්වෝඩ් යතුරුපැදියක් සොරකම් කර පලා ගොස් තිබෙන බවයි එම මාධ්‍ය වාර්තා පැවසුවේ.
ඒ අනුව ඔක්තෝබර් මාසයේ සිදුවූ එම සිදුවීම පසුගියදා ස්කයි පුවත් සේවය විසින් හෙළි කරනු ලැබූ බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.
මේ වන විට විලියම් කුමරු සහ කේට් කුමරිය සිය දරුවන් සමඟ පදිංචිව සිටින වින්ඩ්සර් මාලිගාවේ ආරක්ෂක රැකවලුන්ගෙන් මිදී මීටර් 1.82ක ආරක්ෂිත වැට ද තරණය කර මුහුණු වසාගත් එම සොරුන් දෙදෙනා මාලිගා භූමියට ඇතුළු වී ඇති බවත් ඒ මොහොතේ විලියම් කුමරු සහ කේට් කුමරිය සිය දරුවන් තිදෙනා සමඟ නින්දේ පසුවූ බව ද ස්කයි පුවත් සේවය වාර්තා කර ඇත්තේ.
තේම්ස් නදිය අසල පිහිටි වින්ඩ්සර් රාජකීය මාලිගාව පිහිටි වතුයායේ සොරකමක් පිළිබඳ වාර්තාවක් ලැබුණු බව තේම්ස් නිම්නයේ පොලිස් ප්‍රකාශකයකු ස්කයි පුවත් සේවයට ප්‍රකාශ කර ඇති අතර, මෙතෙක් කිසිවකු අත්අඩංගුවට ගෙන නැති බවත් සඳහන්.
11 වැනි සියවසේ ඉදි කර ඇති එංගලන්තයේ විශාලතම මාලිගාව වන වින්ඩ්සර් මාලිගාව සියවස් ගණනාවක කාලය පුරා බ්‍රිතාන්‍ය රජවරුන් හා රැජිණියන් 40 දෙනකුගේ නිවහන බවට පත්වී තිබූ අතර, අවසන් වරට එලිසබෙත් රැජිණගේ වාසස්ථානය බවට පත්වී තිබුණා.