ශ්‍රී දළදා මාලිගාවේ කාර්තික මංගල්‍යය හෙට (15) ඉල් පෝය දින පැවැත්වෙනවා.
ඒ අනුව ඉල් පුන්පෝය දා පස්වරු 3.54ට යෙදෙන සුබ මොහොතින් දේවාල චතුරශ්‍රය වටා කාර්තික පෙරහැර ගමන් කරනවා.
පෙරහැර ගෙවදීමෙන් අනතුරුව දළදා මාලිගාව ප්රමුඛ කොටගත් සෙසු විහාර හා දේවාලවලත් එම මොහොතේම කාර්තික මංගල්‍යය හෙවත් පහන් ආලෝක පූජාව පවත්වන බවයි ශ්‍රි දළදා මාලිගාවේ කාරියකරවන කෝරාළ පැවසුවේ.
ශ්‍රී දළදා මාලිගාවේ නැකැත් මොහොට්ටාල විසින් සකසා දෙන සුභ මුහුර්ත අනුව ප්‍රදීප පූජාව හා පෙරහර මංගල්‍යය පැවැත්වීමට නියමිතයි.
ඊට පෙර දිනක මහනුවර නාථ දේවාල පරිශ්‍රයේදී පහන් ආලෝක පූජාව සඳහා විහාර දේවාලවලට නියමිත පොල්තෙල් බෙදාදීම සිදුකළ බව ශ්‍රි දළදා මාලිගාවේ කාරියකරවන කෝරාළ පැවසුවා.
දළදා වහන්සේ උදෙසා කරන උත්තම පූජාවක් ලෙසයි වාර්ෂිකව මෙම කාර්තික පෙරහර මංගල්‍යය පවත්වන්නේ.
ගිනි දෙවියන් පිදීම සහ අග්නි පූජාව ඈත අතීතයේ පටන් පැවතියත් එය බුදුසමයෙන් අර්ථ ගැන්වී පහන් පූජා පින්කම බවට පත්ව තිබෙනවා.
අසූහාරදහසක් වූ ධර්මස්කන්ධය සිහිගන්වමින් අසූහාරදහසක් පහන් පූජා පින්කම් පැවැත්වීමට බොදුනුවන් ක්‍රියා කරන්නේ පහන් පූජාව ආමිස පූජාවක් වශයෙන් සලකමින්.
කුරුධම්ම ජාතක කථාවේ සඳහන් පරිදි කුරු රට ධනංජය නම් රජකුගේ මෙහෙයවීමෙන් ඉල් හෙවත් නොවැම්බර් මාසයේදී කාර්තික නම් සැණකෙළිය පැවැත්වූ බව කියැවෙනවා.
කාර්තික මංගල්‍යයේ අරමුණ පහන් දැල්වීම වන අතර එය හින්දු සම්ප්රදායේ පිළිවෙතක්.
ස්කන්ධ කුමාර හෙවත් කතරගම දෙවියන් උදෙසා කාර්තික මංගල්‍යය පැවැත්වීමේ සම්ප්රදාය අනුව යමින් එම පූජාව ශ්‍රී දළදා වහන්සේ වෙත ගෞරව බැතියෙන් සිදු කරනවා.
අතීත රජවරු විසින් දිනපතා සතිපතා මාසිකව සහ වාර්ෂිකව කළා වූ පුදපූජා චාරිත්‍ර විධි අදටත් එලෙසින්ම සිදුකෙරෙනවා.
ඒ අතර අලුත් සහල් මංගල්‍යය, අලුත් අවුරුදු මංගල්‍යය, ඇසළ පෙරහර මංගල්‍යය හා කාර්තික මංගල්‍යය යන ප්‍රධාන හතරට අමතරව වෙසක් පෙරහර, පොසොන් පෙරහර සහ මැයි ජූනි මාසවල්දී වාහල නාග උපසම්පදා පෙරහරද වාර්ෂිකව පවත්වනවා.