Latest News

අලුත් විදිහට ඉතාලියට යැවීමේ මිනිස් ජාවාරමක තොරතුරු හෙළිවේ

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

තම බිරිඳගේ ගමන් ලියකියවිලි සමඟ නාඳුනන කාන්තාවක් ඉතාලියට යැවීමට කිරීමට උත්සාහ කළ පුද්ගලයකු කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපොළේ දී ආගමන හා විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් නතර කර තිබෙනවා.

ඒ අනුව බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපළේ පිටත්වීමේ පර්යන්තයේ දී ආගමන නිලධාරීන් විසින් අහඹු සෝදිසි කිරීමක් සිදුකර ඇති අතර එහිදී සැකපිට යුවළක් ප්‍රශ්න කිරීම සඳහා රැගෙන ගොස් තිබෙනවා.

කොළඹ සිට කටාර් ගුවන් සේවයට අයත් QR 655 දරන ගුවන් යානයෙන් මෙම යුවළ දෝහා හරහා ඉතාලියේ මල්පෙන්සා බලා පිටත්ව යෑමට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ දේශසීමා නිරීක්ෂණ ඒකකයේ (BSU) නිලධාරීන් විසින් ලියකියවිලි පිරික්සා බැලීමේදී, එම කාන්තාව සතුව විදේශ ගමන් බලපත්‍රයක් සහ ඉතාලි ස්ථිර පදිංචි වීසා කාඩ්පතක් ඇතුළු වෙනත් අයෙකුගේ ගමන් ලියකියවිලි ඇති බව සොයාගෙන තිබෙනවා.

ඇයගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී ඇය පවසා ඇත්තේ, තමන් සමඟ පැමිණි පුද්ගලයා තමාව ඉතාලියට රැගෙන යෑමට පොරොන්දු වී ඇති බවත්, ඒ සඳහා කුරුණෑගල ප්‍රදේශයේ සංචාරක නියෝජිතයකුට රුපියල් ලක්ෂ 36ක් ගෙවා ඇති බවයි.

නිලධාරීන් 40 හැවිරිදි පිරිමි පුද්ගලයාගෙන් ප්‍රශ්න කළ විට හෙළිව ඇත්තේ, ඔහු ඉතාලියේ ස්ථිර පදිංචිකරුවෙකු බවත්, බිරිඳගේ ගමන් ලියකියවිලි යටතේ කාන්තාව ප්‍රවාහනය කිරීම සඳහා නියෝජිතයෙකුගෙන් මුදල් ගාස්තුවක් ලබාගෙන ඇති බවයි.

මූලික විමර්ශනවලදී හෙළිව ඇත්තේ, මෙම පිරිමි පුද්ගලයා පසුගියදා නිවාඩුවක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර, ඔහු සිය බිරිඳගේ ගමන් ලියකියවිලි රැගෙන මිනිස් ජාවාරමට පහසුකම් සැලසීම සඳහා රුපියල් ලක්ෂ 20ක ගාස්තුවක් අයකර ඇති බවයි.

කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි කාන්තාව සහ මෙම පිරිමි පුද්ගලයා වැඩිදුර විමර්ශන සඳහා ගුවන් තොටුපොළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ඒකකය වෙත භාර දී තිබෙනවා.

ආගමන විගමන දෙපාර්තමේන්තු විමර්ශන අංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.

World News