ශ්‍රී ලංකාවේ විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේදී ඇති මතුවී ඇති අර්බුදය 2024 වසරේ දෙවන කාර්තුවේදී ආරම්භ වූ බව ශ්‍රී ලංකා ආගමන හා විගමන නිලධාරින්ගේ සංගමය පවසනවා.
විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම සම්බන්ධයෙන් ඇති වී තිබෙන ගැටලුකාරී තත්ත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ආගමන හා විගමන නිලධාරීන්ගේ සංගමය විශේෂ නිවේදනයක් නිකුත් කරමිනුයි මේ බව සඳහන් කරේ.
මේ පිළිබඳව විවිධ පාර්ශ්වයන් විසින් නිකුත් කරන සහ නිකුත් කර ඇති ප්‍රකාශ පරස්පර විරෝධී හා සත්‍ය නොවන බව අපට පෙනී යන බැවින් සැබෑ තත්ත්වය පෙන්වාදීම සිය වගකීම වන බව ද ඔවුන් කියා සිටියා.
ජනතාව විසින් තෝරාපත් කරගත් ජනාධිපතිවරයාව අසීරුතාවයට පත්වීමට දෙපාර්තමේන්තු ඉහළ පරිපාලනය විසින් ලබාදුන් සාවද්‍ය තොරතුරු හේතුවූ බවයි මෙම ලිපිය මඟින් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.
පසුගිය කාලයේදී ආරම්භ වී මේ දක්වා ක්‍රියාත්මක වන අර්බුදයක් බවට ගමන් බලපත්‍ර නිකුත් කිරීම පත්ව ඇති අතර ඊට හේතු වූ කරුණු 10ක් ශ්‍රී ලංකා ආගමන හා විගමන නිලධාරින්ගේ සංගමය විසින් හඳුනාගෙන තිබෙනවා.
එම කරුණු පහතින්;
*නිසි ගමන්බලපත්‍ර තොග ප්‍රමාණයක් නොවීම
*මිලදී ගැනීම් කාලීනව සිදු නොකිරීම
*නිවැරදි ලෙස පුරවැසි ඉල්ලුම පුරෝකථනය නොකිරීම
*පවත්නාවූ තත්ත්වයන් කාර්යක්ෂම හා කඩිනම් නොකර මාර්ගගත අයදුම්පත් ක්‍රමයක් මීට පෙර ද අවිචාරශිලීව ආරම්භ කර එය අසාර්ථකභාවයට පත් වූ පසු එය අතහැර දැමීම
*ඉහළ පරිපාලනයේ කිහිප දෙනෙකු පමණක් තීරණ ගැනීම (පාලක ජනරාල් / අතිරේක පාලක ජනරාල්/ප්‍රත්‍යන්ත පාලන හො තොරතුරු තාක්ෂණ පාලක)
*දෙපාර්තමේන්තුගත නිත්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයන් තීරණ ගැනීමේ ක්‍රියාවලියේදී නොසලකා හැරීම හා තීරණ හිතුවක්කාරි ලෙස ක්‍රියාත්මක කිරීම
*නියමු ව්‍යාපෘතියක් හෝ සැබෑ ඌනතා අධ්‍යයනයන්ගෙන් තොරව ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම
*පසු විපරම් කාර්යයන් නොකිරීම
*දේශපාලන අධිකාරියේ අදහස්, නියෝග අවිචාරාත්මක ලෙස ක්‍රියාත්මක කිරීම
*මහජන සේවය වෙනුවට පෞද්ගලික වරප්රසාදයන්ට මුල් තැනදීම