ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම අල්ලස වශයෙන් සැළකෙන රුපියල් කෝටි 12 1/2 ක අල්ලසක් ඉල්ලා ලබාගත් බවට චෝදනා ලැබ සිටි රේගු අධිකාරීවරුන් සිව්දෙනාම අදාළ චෝදනාවන්ට වරදකරුවන් බව තීරණය කළ කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ඔවුන්ට වසර 35 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම් අද (06) නියම කළා.
මීට වසර 10කට පෙර අල්ලස් වශයෙන් ලබාගත් රුපියල් කෝටි 12 1/2 විත්තිකරුවන් සිව්දෙනාගෙන් වෙන් වෙන්ව අයකර ගැනීමට නියම කළ විනිසුරුවරයා පළමු විත්තිකරුට රුපියල් 27,000/-ක් සහ ඉතිරි විත්තිකරුවන් තිදෙනාට රුපියල් 25,000/- බැගින්ද දඩ ගෙවීමටද නියම කළා.
රජකාරී බලතල අවභාවිතා කරමින් රජයේ නිළධාරීන් කෙරෙහි මහජනතාව තුළ ඇති විශ්වාසය බිඳී යන අයුරින් කටයුතු කළ හෘද සාක්ෂියක් නොමැති කෑදරකමටමුදල රැස්කළ මෙවැනි රජයේ නිළධාරීන්ට උපරිම දඬුවම් දෙන්නැයි පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා කළ ඉල්ලීමක් පිළිගත් විනිසුරුවරයා විත්තිකරුවන්ට එලෙස දඬුවම් නියම කළා.
චෝදනාවන්ට වරදකරුවන් වීම නිසා මෙලෙස දඬුවම් නියම වුයේ ශ්‍රී ලංකා රේගුවේ සහකාර රේගු අධිකාරී උපාලි ගුණරත්න පෙරේරා, රේගු අධිකාරී වසන්ත විමලවීර, රේගු අධිකාරී උපාලි සෙනරත් වික්‍රමසිංහ සහ රේගු අධිකාරී සුජීව පරාක්‍රම ජිනදාස නමැත්තන්ටයි.
මියගොස් සිටින නියෝජ්‍ය රේගු අධිකාරී ජගත් ගුණතිලක නමැත්තා සමඟ එක්ව ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම අල්ලස වශයෙන් සැළකෙන මෙම රුපියල් කෝටි 12 1/2 ක අල්ලසක් ඉල්ලා කෝටි 12 1/4 ලබාගෙන ඇත්තේ මෝටර් රථවාහන අමතර කොටස් ගෙන්වන ව්‍යාපාරික බන්ධුසේන මහතාගෙන්.
2015 ජුනි මස 22 වැනිදාත් 2015 ඔක්තෝම්බර් මස 15 වැනිදාත් අතර කාලයේ කොළඹ පන්චිකාවත්තේදී රුපියල් මිලියන 150ක මුදලක් දැනට මියගොස් සිටින නියෝජ්‍ය රේගු අධිකාරී ජගත් ගුණතිලක මහතා සමඟ එක්ව ඉල්ලා ලබා ගැනීමට කුමන්ත්‍රණය කළ බවට අල්ලස් කොමිසම විත්තිකරුවන්ට එරෙහිව චෝදනා ඉදිරිපත් කොට තිබෙනවා.
එම කුමන්ත්‍රණයට අනුව අවස්ථා කිහිපයකදී පැමිණිලිකරුගෙන් අල්ලස් ඉල්ලීම ඒ අනුව 2015 ඔක්තෝම්බර් මස 15 වැනිදා රුපියල් මිලියන 125ක මුදලක් ලබාගත් බවට මෙන්ම සෙසු විත්තිකරුවන් ඊට ආධාර සහ අනුබල දුන් බවට විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් කොමිසම වැඩිදුරටත් චෝදනා ඉදිරිපත් කොට තිබුණා.
දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කිරීම සඳහා නඩුව කැඳවු අවස්ථාවේදී විත්තිකරුවෝ අධිකරණයේ පෙනී සිටියා.
විත්තිකරුවන්ට එරෙහිව නඟා තිබු චෝදනා සහ ඉදිරිපත් වු සාක්කි විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව විත්තිකරුවන්ට එරෙහිව නඟා තිබු සියළු චෝදනා පැමිණීල්ල විසින් කිසිඳු සැකයකින් තොරව ඔප්පු කර ඇතැයි තීන්දු කළ විනිසුරුවරයා විත්තිකරුවන් තිදෙනා සියළු චෝදනාවන්ට වරදකරුවන් බවට තීරණය කළා.