හින්දු ජනතාවගේ අතිශය වැදගත් ආගමික උත්සව දිනයක්වන දීපවාලි දිනය අදට (31)ට යෙදී තිබෙනවා.
ශ්‍රී ලංකාවේ මෙන්ම ලොව පුරා හින්දු බැතිමතුන් අද (31) දීපවාලී උත්සවය මහත් හරසරින් සමරනු ලබනවා.
‘දීවාලි’ නැතහොත් ‘දීපාවලී’ උත්සවය හින්දු භක්තිකයන්ගේ ප්‍රධාන උත්සවයක් ලෙසයි හැදින්වෙන්නේ.
‘අයහපත පරදා යහපත ජයගත්’ දිනය ලෙසයි ඔවුන් අද දිනය සලකන්නේ.
අද දින ලොව පුරා හින්දු බැතිමතුන් දීපවාලී උත්සවය සමරනු ලබන්නේ අඳුර දුරලා සියලු සිත්සතන් තුළ ආලෝකය පැතිරේවා යන්න ප්‍රාර්ථනා කරමින්.
චන්ද්‍ර දින දර්ශනයට අනුව හින්දු නව වසරේ ආරම්භය සනිටුහන් කෙරෙන්නේ දීපවාලි දිනයෙන්.
හින්දු භක්තිකයන්ට අනුව දීපාවලි උත්සව සැමරුම වසර 35,000 කට පෙර සිට පැවත එන්නක්.
මෙම උත්සවය දින 5ක් පුරා පැවත්වෙන අතර මෙය පැවැත්වීමට පාදක වූ පුරාවෘත කිහිපයක්ම හින්දු ජනයා අතර ප්‍රචලිත වනවා.
විෂ්ණු දෙවිදුන් නරගාසුරන් නමැති අසුරයා පරාජය කිරීම සිහිපත් කරමින් හින්දු බැතුමතුන් දීපවාලී උත්සවය සමරනවා.
මෙම උත්සවය තුළින් තමන් ආලෝකය ලබා ගත් අයුරින් ලොව සියලු දෙනාටද ආලෝකය දැකීමට ඉඩ සලසන්නැයි පරාජයට පත් නරගාසුරන් අසුරයා විෂ්ණු දෙවියන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
හින්දු බැතුමතුන් පහන් දල්වා ආගමික වතාවත්වල නිරත වන්නේ පහන්වල ආලෝකය පරිද්දෙන් සියල්ලන්ගේ සිත් සතන් තුළ ආලෝකය පැතිරේවා යන ඒකායන ප්‍රාර්ථනය පෙරදැරිකරගෙනයි.
දීපවාලී යනු සැබවින්ම ආලෝක පුජාවක් වනවා.
නිවෙස් තුළ මෙන්ම නගර මුළුල්ලේ ම දහස් ගණන් පහන් දල්වා ආලෝකවත් කිරීම මෙම උත්සවයේ ප්‍රධානතම අංගයක්.
දීපවාලී උත්සවය ජාතික උත්සවයක් ලෙසත්, එය ලොව අඳුර නසා ආලෝකය උදා කරවන්නක් ලෙසත්, අඥානය නැති කොට ඥානය පහළ කරන උත්සවයක් ලෙසත් හින්දු භක්තිකයින් සලකනවා.
බොහෝ ව්‍යාපාරිකයින් නව ගිණුමක් ආරම්භ කිරීමද බොහෝ විට මේ දිනයේ සිදු කරනවා.
ඔවුන් මෙදින ජිවිතයේ නැවුම් බවින් ජීවිතය අලුතින් අරඹන්නට මෙය විශේෂ දිනයක් කරගන්නවා.
හින්දු බැතිමතුන් මේ විශේෂ දිනයේ රාමා දෙවියන්ටත්, සීතා දේවියටත් තම ජිවිත දුෂ්කරතාවලට නිසි ලෙස මුහුණ දී ඔවුන් ආශීර්වාද කර නිවැරදි මඟපෙන්වන ලෙස යාතිකා කරනවා.
ඉතින් Radio WESL අපගේ සහෝදර හින්දු බැතිමතුන්ට සුබ දීපවාලි දිනයක් වේවා!