ශ්‍රී ලාංකික දුරකථන පාරිභෝගිකයන් දිගු කලක් තිස්සේ බලා සිටි Number Portability (NP) සේවාව රට තුළ හඳුන්වා දීමට, ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRCSL) පියවර ගනිමින් සිටිනවා.
ඒ අනුව ශ්‍රී ලංකාවේ දුරකථන සමාගම් (ජාල සපයන්නන්) අතර මාරුවීමේදී පාරිභෝගිකයින්ට ඔවුන්ගේ දුරකථන අංක රඳවා ගැනීමට ඉඩ සලසන මෙම මුලපිරීම 2025 මුල් භාගය වන විට ක්‍රියාත්මක වනු ඇති බවයි අපේක්ෂා කෙරෙන්නේ.
TRCSL සහ දුරකථන සමාගම් අතර සාකච්ඡා කල් ඇතිව ආරම්භ වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස NP සේවාව ක්‍රියාත්මක කිරීමට පුළුල් සැලැස්මක් ඇති වුණා.
අදාළ පාර්ශවකරුවන්ගෙන් ප්‍රතිපෝෂණ රැස්කරමින් මහජන උපදේශන පත්‍රිකාවක් 2021 දී ප්‍රකාශයට පත් කරන ලද අතර මෙම උපදේශන මත පදනම්ව, NP සේවාව සඳහා සුදුසු තාක්ෂණික ආකෘතියක් සඳහා එකඟ වුණා.
එහිදී සැලකිය යුතු ඉදිරි පියවරක් ලෙස, සේවාවේ ක්‍රියාකාරිත්වය සහ පරිපාලනය අධීක්ෂණය කිරීම සඳහා Lanka Number Portability Services (Guarantee) Limited (LNPS) පිහිටුවනු ලැබුවා.
මෙම නව ආයතනයට රටේ සියලුම ස්ථාවර සහ ජංගම ක්‍රියාකරුවන්ගේ සහභාගීත්වය ඇතුළත් වන අතර TRCSL දැනටමත් LNPS වෙත NP සේවාව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය බලපත්‍රය ලබා දී තිබෙනවා.
දුරකථන සමාගම් සමඟ සම්බන්ධීකරණයෙන් සකස් කරන ලද සේවා රීති සහ මාර්ගෝපදේශ සඳහා නීතිපති දෙපාර්තමේන්තුවේ අනුමැතිය ද ලැබී තිබෙන බවයි වාර්තා වන්නේ.
එමෙන්ම NP සේවාව සඳහා තාක්ෂණික පද්ධතිය සැපයීම සඳහා සුදුසු ආයතනයක් තෝරාගැනීම සඳහා LNPS විසින් ප්‍රසම්පාදන ක්‍රියාවලිය ආරම්භ කර තිබෙනවා.
විභව සැපයුම්කරුවන්ගේ තාක්ෂණික ඇගයීම අවසන් කර ඇති අතර, මූල්‍ය ඇගයීම මේ වන විට සිදුවෙමින් පවතින බවයි ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRCSL) පවසන්නේ.