මැදපෙරදිග පවතින යුදමය තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාවට මුහුණ දීමට සිදුවන ඕනෑම අභියෝගයකදී සහාය වීමට රුසියාව සූදානම් බව රුසියානු බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය රෝමන් මාර්ෂවින් මහතා අවධාරණය කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.
ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත රුසියානු නියෝජ්‍ය අමාත්‍යවරයා අද (26) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවූ අවස්ථාවේදී මෙම අදහස් පළ කර ඇති බව සඳහන්.
ගෝලීය අර්බුදකාරී තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාවට ඇති අභියෝග පිළිබඳ රුසියාවට මනා අවබෝධයක් පවතින බව පැවසූ ඔහු, බලශක්ති ක්ෂේත්‍රය පමණක් නොව තාක්ෂණික, යන්ත්‍රෝපකරණ සහ අනෙකුත් අංශවලද සහාය ලබාදීමට සූදානම් බව ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාව සහ රුසියාව අතර පවතින දීර්ඝකාලීන මිත්‍ර සබඳතා සිහිපත් කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, අතීතයේ සෝවියට් රුසියාව විසින් ලබාදුන් කාර්මික සහ තාක්ෂණික සහාය ශ්‍රී ලංකාවේ සංවර්ධනයට මහත් දායකත්වයක් ලබාදුන් බව සඳහන් කළේය.
එමෙන්ම, මෑත කාලයේ ශ්‍රී ලංකාවට වැඩිම සංචාරකයන් පැමිණෙන රටවල් අතර රුසියාව ඉදිරියෙන් සිටින බවත්, ශ්‍රී ලාංකික සිසුන්ට ලබාදෙන අධ්‍යාපන අවස්ථා සහ අන්තර්ජාතික කටයුතුවලදී රුසියාව ලබාදෙන සහාය පිළිබඳවද ජනාධිපතිවරයා කෘතවේදීව සිහිපත් කළේය.
මෙම සංචාරය දෙරට අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට හේතු වනු ඇති බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් විශ්වාසය පළ කළේය.