Latest News

IRIS Dena නෞකාවට එල්ල වූ ප්‍රහාරය ගැන නව තොරතුරු – ඔස්ට්‍රේලියානු හමුදා සාමාජිකයින් සබ්මැරීනයේ සිටි බව තහවුරු

Published 7 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com


IRIS Dena නෞකාවට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් නව තොරතුරු කිහිපයක් හෙළි වී තිබේ. එම ප්‍රහාරය සිදු කළ බවට සඳහන් වන අමෙරිකානු සබ්මැරීනය තුළ ඔස්ට්‍රේලියානු ආරක්ෂක අංශ සාමාජිකයින් තිදෙනෙක් සිටි බව ඔස්ට්‍රේලියානු අගමැති ඇන්තනී ඇල්බනීසි විසින් තහවුරු කර ඇත.
ඔහු සඳහන් කර ඇත්තේ, එම නිලධාරීන් ඔස්ට්‍රේලියාව, බ්‍රිතාන්‍යය සහ අමෙරිකාව එක්ව ක්‍රියාත්මක කරන AUKUS ආරක්ෂක පුහුණු වැඩසටහනට සහභාගී වූ පිරිසක් බවයි. කෙසේ වෙතත් ඔස්ට්‍රේලියානු අගමැතිවරයා අවධාරණය කර තිබුණේ, ඔස්ට්‍රේලියානු හමුදා ජාත්‍යන්තර නීතිවලට අනුකූලව ක්‍රියා කළ බවත්, ඉරානයට එල්ල වූ ප්‍රහාරයට සෘජුවම සම්බන්ධ වී නොමැති බවත්ය.
මේ අතර, එම ප්‍රහාරයෙන් දිවි බේරාගත් ඉරාන නාවිකයන් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මුදාගන්නා ආකාරය දැක්වෙන දර්ශන පෙළක් අද (06) දින මාධ්‍ය වෙත නිකුත් කර තිබේ.
ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත් වූ ඉරාන නාවිකයන්ගේ දේහ සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු ගාල්ල ජාතික රෝහලේදී අද අළුයම දක්වාම සිදුකර ඇති බව වාර්තා වෙයි. රෝහල තුළ මෘත ශරීර තබා ගැනීමට ප්‍රමාණවත් පහසුකම් නොතිබීම හේතුවෙන් ශීතකරණ පහසුකම් සහිත විශේෂ බහාලුම් භාවිතයට ගැනීමට තීරණය කර ඇත. ඒ සඳහා බහාලුම් දෙකක් රෝහලට ගෙනැවිත් තිබූ අතර, එකක් ගාල්ල ප්‍රදේශයේ දායක ජනතාව විසින් පරිත්‍යාග කර ඇති අතර අනෙක් බහාලුම රජයේ මැදිහත්වීමෙන් ලබාදී ඇත.
මේ අතර ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල්ගතව ප්‍රතිකාර ලබන ඉරාන නාවිකයන් අතරින් 8 දෙනෙක් හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බවත්, තවත් 24 දෙනෙක් සාමාන්‍ය වාට්ටු තුළ ප්‍රතිකාර ලබන බවත් රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
එමෙන්ම ප්‍රහාරය සිදු වූ මුහුදු ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුම් සඳහා ඉන්දීය නාවික හමුදාවට අයත් INS Tarangini නෞකාව ද එක්ව තිබූ අතර එය අද උදෑසන කොළඹ වරායට පැමිණ ඇත.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඉරාන විදේශ කටයුතු අමාත්‍යවරයා දැඩි විරෝධය පළ කරමින් සඳහන් කර ඇත්තේ, නිරායුධ පුද්ගලයින් රැගෙන ගමන් කළ නෞකාවකට පහරදීම මගින් අමෙරිකාව යුද අපරාධයක් සිදු කර ඇති බවයි.
අනෙක් පසින්, ඉන්දියාවේ විශාකාපට්නම් නගරයේ පැවැති Milan 2026 නාවික යුද අභ්‍යාසයට සහභාගී වීමට ගමන් කළ ඉරාන නෞකා තුනෙන් එකක් වන IRIS Bushehr නෞකාව පසුගියදා පානදුරට ආසන්නව ශ්‍රී ලංකාවේ අනන්‍ය ආර්ථික මුහුදු කලාපයට ඇතුළු වී තිබුණි. එහිදී ඔවුන් ශ්‍රී ලංකා රජයෙන් මෙරට වරායකට ඇතුළු වීමට අවසර ඉල්ලා තිබේ.
ඒ අනුව ඊයේ රාත්‍රියේ එම නෞකාවේ කාර්ය මණ්ඩලය සහ නාවිකයන් 204 දෙනෙකු ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් කොළඹ වරායට රැගෙන එන ලදී. එම පිරිස අතර නිලධාරීන් 53 දෙනෙකු, කැඩෙට් නිලධාරීන් 54 දෙනෙකු, ජ්‍යෙෂ්ඨ නාවිකයන් 48 දෙනෙකු සහ නාවිකයන් 23 දෙනෙකු සිටින බව සඳහන් වේ.
ගොඩබිමට රැගෙන ආ මෙම නාවිකයන් පසුව වැලිසර නාවික හමුදා කඳවුර වෙත යොමු කර ඇත. නාවික හමුදා නිලධාරීන් සඳහන් කරන්නේ, අද (06) පස්වරුව වන විටත් එම නෞකාව කොළඹ වරායට නුදුරින් ශ්‍රී ලංකා මුහුදු සීමාවේ තවදුරටත් රඳවා ඇති බවයි.

World News

Send your contact Details Today