හදිසි නීතිය ක්‍රියාත්මක කිරීම හරහා රට තුළ මර්දනයක් සිදුවන බවට විපක්ෂය කරන චෝදනා පදනම් රහිත බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළාය. පසුගිය මාස තුන තුළ එවැනි මර්දනයක් සිදුවූ නිශ්චිත සිද්ධියක් තිබේ නම් එය ඉදිරිපත් කරන ලෙසද ඇය විපක්ෂයට අභියෝග කළාය.
අද (06) පාර්ලිමේන්තුවේදී හදිසි නීතිය සම්බන්ධයෙන් විපක්ෂයෙන් එල්ල වූ චෝදනාවලට පිළිතුරු ලබාදෙමින් අග්‍රාමාත්‍යවරිය මේ අදහස් ප්‍රකාශ කළාය.
අත්‍යවශ්‍ය සේවාවන් පවත්වාගෙන යාම සම්බන්ධ රෙගුලාසි පිළිබඳ පැවති විවාදයට එක්වෙමින් ඇය සඳහන් කළේ, රජය විවේචනය කිරීම හෝ විරෝධතා දැක්වීම වැනි ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම්වලට කිසිදු බාධාවක් සිදු කර නොමැති බවයි.
“මර්දනය” යන වචනය නිරපරාදේ භාවිතා නොකර, හදිසි නීති යටතේ අසාධාරණ ලෙස අත්අඩංගුවට ගත් හෝ මර්දනයට ලක් වූ පුද්ගලයන් පිළිබඳ තොරතුරු තිබේ නම් ඒවා ඉදිරිපත් කරන ලෙසද ඇය පැවසුවාය. සමාජ මාධ්‍ය සහ පුවත්පත් හරහා රජය හා ජනාධිපතිවරයා දැඩි ලෙස විවේචනය කරන බවත්, එම විවේචන මර්දනය කිරීමට රජය කිසිදු පියවරක් ගෙන නොමැති බවත් ඇය වැඩිදුරටත් සඳහන් කළාය.
තවද, පවතින ආපදා තත්ත්වයෙන් පසු ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම සහ යටිතල පහසුකම් යළි ගොඩනැගීම සඳහා හදිසි නීති රෙගුලාසි අවශ්‍ය බවද අග්‍රාමාත්‍යවරිය පැවසුවාය. විශේෂයෙන් මාර්ග, පාසල් පද්ධතිය සහ අත්‍යවශ්‍ය සේවාවන් බිඳවැටීමකින් තොරව පවත්වාගෙන යාමට මෙම නෛතික පසුබිම වැදගත් බවද ඇය පෙන්වා දුන්නාය.
ආපදාවෙන් හානි වූ දුම්රිය මාර්ග ඇතුළු ප්‍රවාහන පද්ධතිය සහ පාසල් ගොඩනැගිලි නැවත සංවර්ධනය කිරීමේදී ඒවා අනාගත ආපදාවලට ඔරොත්තු දෙන පරිදි විද්‍යාත්මක ක්‍රමවේදයන් යටතේ යාවත්කාලීන කිරීමට ත්‍රිවිධ හමුදාව ද යොදාගැනීමට සිදුවන බවද ඇය පැවසුවාය.
එමෙන්ම, ආපදා සහන හා ප්‍රතිසංස්කරණ කටයුතු අධීක්ෂණය සඳහා ජනාධිපතිවරයා විසින් විශේෂ කාර්ය සාධක බලකායක් පත් කර ඇති බවත්, එහි වාර්තාව මෙම මාසය තුළ ලැබෙන බවත් සඳහන් කළාය. එය අනුව කෙටි කාලීන, මධ්‍ය කාලීන සහ දිගු කාලීන සැලසුම් යටතේ රට නැවත ගොඩනැගීමේ කටයුතු සිදු කිරීමට අපේක්ෂා කරන බවද ඇය කියා සිටියාය.
තවද, සහන කඳවුරුවල තවමත් රැඳී සිටින ජනතාව පිළිබඳ අවධානය යොමු කර ඔවුන් කඩිනමින් නැවත පදිංචි කරවීමට අදාළ බලධාරීන්ට උපදෙස් ලබාදී ඇති බවද අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළාය.
දේශපාලන වාසි සඳහා “මර්දනය” යන පදය භාවිත නොකර, ආපදාවෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක වන වැඩපිළිවෙලට සහාය ලබාදෙන ලෙසද අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙහිදී විපක්ෂයෙන් ඉල්ලා සිටියාය.