Latest News

සමාජ මාධ්‍ය සමාගම්වලට එරෙහිව ලොව පළමු වතාවට දැවැන්ත නඩුවක් – දරුවන්ගේ මානසික සෞඛ්‍යට හානි කළ බවට චෝදනා

Published 25 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

සමාජ මාධ්‍ය භාවිතය හරහා දරුවන් එයට ඇබ්බැහි කරවීම සහ ඔවුන්ගේ මානසික සෞඛ්‍යයට හානි කිරීම සම්බන්ධයෙන් ‘මෙටා’ (Meta) සහ ‘ගූගල්’ (Google) වැනි ලොව දැවැන්ත තාක්ෂණික සමාගම්වලට එරෙහිව තීරණාත්මක නඩු විභාග දෙකක් මේ සතියේ අමෙරිකාවේදී ආරම්භ විය.

සමාජ මාධ්‍ය නිෂ්පාදන දරුවන්ට බලපාන ආකාරය සම්බන්ධයෙන් එම සමාගම් නීතිමය වශයෙන් වගකීමට බැඳී සිටින බව පවසමින් මෙලෙස නඩු පවරා ඇති පළමු අවස්ථාව මෙයයි.

නිව් මෙක්සිකෝ නඩුව: ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් හරහා ලිංගිකමය වශයෙන් පැහැදිලි අන්තර්ගතයන්ගෙන් දරුවන් ආරක්ෂා කිරීමට මෙටා සමාගම අපොහොසත් වූ බවට මෙහිදී චෝදනා එල්ල වේ. විශේෂයෙන්ම දරුවන් ඉලක්ක කරන ලිංගික අපරාධකරුවන්ට මෙම වේදිකා “තෝතැන්නක්” වී ඇති බව පැමිණිල්ලේ සඳහන් වේ.

කැලිෆෝනියා නඩුව: මෙටා සහ යූටියුබ් (YouTube) ආයතන සිය වේදිකා නිර්මාණය කිරීමේදීම දරුවන්ව එයට ඇබ්බැහි කරවන තාක්ෂණික උපක්‍රම (ඇල්ගොරිතම) භාවිතා කළ බවට මෙහිදී චෝදනා කෙරේ. සූදු ක්‍රීඩා සහ දුම්වැටි කර්මාන්තය භාවිතා කරන මනෝවිද්‍යාත්මක ක්‍රමවේද මෙහිදී භාවිතා කර ඇති බව පැමිණිලිකරුවන් පවසයි.

නඩු විභාගය ආරම්භ කරමින් රජයේ නීතිඥයින් ප්‍රකාශ කළේ, මෙටා සමාගම සිය පරිශීලකයින්ගේ ආරක්ෂාවට වඩා ලාභය සහ ව්‍යාපාරික වර්ධනය කෙරෙහි අවධානය යොමු කර ඇති බවයි. “මෙටා සමාගම දැනුවත්වම තරුණ ආරක්ෂාවට වඩා ලාභය ඉහළින් තැබුවා,” යැයි නීතිඥ ඩොනල්ඩ් මිග්ලියෝරි අධිකරණය හමුවේ පැවසීය.

මීට අමතරව, 2024 වසරේ හඳුන්වා දුන් AI චැට්බොට් (Chatbots) හරහා දරුවන්ට ලිංගික සහ රොමැන්ටික් සංවාදවලට පිවිසීමට තිබූ අවකාශය පිළිබඳවද මෙහිදී කරුණු අනාවරණය වී තිබේ.

කෙසේ වෙතත්, Meta සහ Google යන සමාගම් මෙම චෝදනා ප්‍රතික්ෂේප කරයි.

ඔවුන් පවසන්නේ දරුවන්ගේ මානසික සෞඛ්‍ය ගැටලුවලට සමාජ මාධ්‍ය පමණක් නොව පාසල් පීඩනය, ආර්ථික ගැටලු සහ මත්ද්‍රව්‍ය භාවිතය වැනි කරුණු රැසක් බලපාන බවයි.

තම ආයතන හරහා දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මෙවලම් රැසක් හඳුන්වා දී ඇති බවද ඔවුහු පවසති.

මෙම නඩු විභාගවල තීන්දුව අනුව ඉදිරියේදී සමාජ මාධ්‍ය සහ කෘත්‍රිම බුද්ධිය (AI) භාවිතා කළ යුතු ආකාරය පිළිබඳ දැඩි නීති පැනවීමට ඉඩ ඇත.

නඩුවෙන් පැමිණිලිකරුවන් ජයග්‍රහණය කළහොත්, එම සමාගම්වලට ඩොලර් බිලියන ගණනක වන්දි ගෙවීමට සිදුවනු ඇති අතර, අන්තර්ජාලයේ අනාගතයද මින් වෙනස් වනු ඇත.

මෙම නඩු විභාග ඉදිරි සති 6 සිට 8 දක්වා කාලය තුළ පැවැත්වීමට නියමිත අතර මෙටා ප්‍රධානී මාර්ක් සකර්බර්ග් ද සාක්ෂි දීම සඳහා කැඳවනු ඇතැයි අපේක්ෂා කෙරේ.

World News

Send your contact Details Today