නැගෙනහිර පැසිෆික් සාගරයේ යාත්‍රා කරමින් තිබූ බෝට්ටුවකට අමෙරිකානු හමුදාව එල්ල කළ දරුණු ප්‍රහාරයකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
අමෙරිකානු දකුණු විධානය (SOUTHCOM) නිවේදනය කළේ පසුගිය සඳුදා මෙම “මාරක ප්‍රහාරය” (lethal kinetic strike) එල්ල කළ බවයි.
අදාළ බෝට්ටුව මත්ද්‍රව්‍ය ජාවාරම් සඳහා යොදාගත් එකක් බව අමෙරිකානු හමුදාව චෝදනා කළද, ඒ පිළිබඳව නිසි සාක්ෂි ඉදිරිපත් කිරීමට ඔවුන් මෙතෙක් අපොහොසත් වී ඇත.
මාධ්‍ය වාර්තා සහ නිරීක්ෂණ දත්තවලට අනුව, පසුගිය කාලසීමාව තුළ අමෙරිකාව විසින් පැසිෆික් සහ කැරිබියන් සාගර කලාපයේ යාත්‍රා 39කට එරෙහිව ප්‍රහාර 37ක් එල්ල කර තිබේ.
මෙම ප්‍රහාරවලින් මේ දක්වා අවම වශයෙන් පුද්ගලයින් 130 දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ.
නීති විශාරදයින් සහ මානව හිමිකම් ක්‍රියාකාරීන් පෙන්වා දෙන්නේ ජාත්‍යන්තර මුහුදේ මෙලෙස ප්‍රහාර එල්ල කිරීම මගින් අමෙරිකාව “විනිසුරු, ජූරි සභාව සහ දඬුවම් ක්‍රියාත්මක කරන්නා” ලෙස ඒකපාර්ශ්විකව කටයුතු කරන බවයි.
මෙය නීති විරෝධී ඝාතනයක් (Extrajudicial killing) ලෙස ඔවුන් හඳුන්වයි.
ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය යටතේ ක්‍රියාත්මක වන මෙම මෙහෙයුම් සම්බන්ධයෙන් මීට පෙරද දැඩි විවේචන එල්ල විය.
විශේෂයෙන්ම 2025 සැප්තැම්බර් මාසයේදී එල්ල වූ ප්‍රහාරයකින් පසු, බෝට්ටු සුන්බුන්වල එල්ලී සිටි දිවි ගලවාගත් පිරිසටද නැවත ප්‍රහාර එල්ල කළ බවට වාර්තා පළ වී තිබේ.
නෞකාවක සුන්බුන් අතර සිටින දිවි ගලවා ගත් අයෙකු ඝාතනය කිරීම ජාත්‍යන්තර නීතියට අනුව යුධ අපරාධයක් ලෙස සැලකේ.