දකුණු කොරියානු හමුදාවට අයත් AH-1S Cobra වර්ගයේ ප්‍රහාරක හෙලිකොප්ටර් යානයක් පුහුණු වීම් අතරතුර කඩා වැටීමෙන් එහි ගමන් කළ ගුවන් නියමුවන් දෙදෙනාම ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට ආරක්ෂක අංශ තහවුරු කරයි.
මෙම අනතුර සිදුව ඇත්තේ දකුණු කොරියාවේ උතුරුදිග ප්‍රදේශයේ පිහිටි ගප්යොං (Gapyeong) ප්‍රාන්තයේදීය.
සඳුදා පෙරවරු 11:00 ට පමණ මෙම යානය කඩා වැටී ඇති අතර, ඒ වන විට නියමුවන් හදිසි ගොඩබෑමේ ක්‍රමවේදයන් (Emergency landing procedures) පිළිබඳ පුහුණුවක නිරතව සිට ඇති බව වාර්තා වේ.
අනතුරින් පසු නියමුවන් දෙදෙනා කඩිනමින් රෝහල් ගත කළද, ඔවුන් මියගොස් ඇති බව වෛද්‍යවරුන් ප්‍රකාශ කර තිබේ.
යානය කඩා වැටීමට නිශ්චිත හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සිද්ධිය පිළිබඳව සොයා බැලීමට හමුදාව විසින් විශේෂ විමර්ශන කණ්ඩායමක් පත් කර ඇත.
පරීක්ෂණ කටයුතු අවසන් වන තෙක් දකුණු කොරියානු හමුදාව සතු සියලුම AH-1S Cobra වර්ගයේ හෙලිකොප්ටර් යානාවල මෙහෙයුම් තාවකාලිකව අත්හිටුවීමට ද එරට බලධාරීන් පියවර ගෙන තිබේ.