Latest News

“ක්ෂුද්‍ර සහ සුළු පරිමාණ ව්‍යවසායකයන් සුරැකීමට ප්‍රතිපත්ති සම්පාදක මණ්ඩලයක් වහාම ඕනෑ” – ලංකා ෆෙඩරේෂනය, බලධාරීන්ගෙන් ඉල්ලයි

Published 26 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ශ්‍රී ලංකාවේ සමස්ත ව්‍යාපාර ක්ෂේත්‍රයෙන් 50%කට වඩා වැඩි ප්‍රතිශතයක් නියෝජනය කරන ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ (MSME) ව්‍යවසායන් සුරක්ෂිත කිරීම සඳහා ස්ථාවර සහ ක්‍රමවත් ප්‍රතිපත්ති සම්පාදක මණ්ඩලයක අවශ්‍යතාව පවතින බව ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සඳහා වන ලංකා ෆෙඩරේෂනය (Ceylon Federation of MSME) අවධාරණය කරයි.

ඊයේ (08) පැවැති මාධ්‍ය හමුවකදී එම සංගමය පෙන්වා දුන්නේ පසුගිය වසර කිහිපය තුළ මෙරට ව්‍යවසායකයන් පිට පිට එල්ල වූ අභියෝග හමුවේ දැඩි අර්බුදයකට ලක්ව ඇති බවයි.

පසුගිය වසර පහක කාලය තුළ මෙරට ව්‍යවසායකත්වය අඩාල වීමට බලපෑ ප්‍රධාන කරුණු කිහිපයක් එම සංගමය විසින් මෙහිදී පෙන්වා දෙන ලදී. ඒ පහත ලෙසයි…

1) පාස්කු ඉරිදා ප්‍රහාරය: සංචාරක සහ වෙළඳ ක්ෂේත්‍රයට එල්ල වූ මරු පහරක් වීම.

2) කොරෝනා වසංගතය: දීර්ඝ කාලීන අගුලු දැමීම් හේතුවෙන් නිෂ්පාදන දාම බිඳ වැටීම.

3) රට බංකොලොත් වීම: ආර්ථික අර්බුදය, උද්ධමනය සහ අමුද්‍රව්‍ය මිල ඉහළ යාම.

4) ස්වභාවික විපත්: මෑතකදී ඇති වූ ‘දිට්වා’ සුළි කුණාටුව වැනි කාලගුණික විපර්යාසයන්ගෙන් සිදු වූ හානිය.

මෙම ක්ෂේත්‍රය යථා තත්ත්වයට පත් කිරීම සඳහා “ආර්ථික යුක්තිය සහ යථා තත්ත්වයට පත්වීම වෙනුවෙන් වන උපායමාර්ගික සැලැස්මක්” එම සංගමය විසින් මෙහිදී ඉදිරිපත් කරන ලදී.

ඒ අනුව ව්‍යවසායකයන් පවසන්නේ හුදෙක් සහන ලබා දීම වෙනුවට, ඔවුන් මුහුණ දෙන මූල්‍ය සහ නීතිමය ගැටලු විසඳා දීර්ඝකාලීනව කර්මාන්ත පවත්වාගෙන යාමට අවශ්‍ය පසුබිම සකස් කරන ස්වාධීන මණ්ඩලයක් රජය මැදිහත් වී පිහිටුවිය යුතු බවයි.

ශ්‍රී ලංකාවේ රැකියා නියුක්තියෙන් විශාල පංගුවක් හිමිකර ගන්නා මෙම ක්ෂේත්‍රය බිඳ වැටීම රටේ දළ දේශීය නිෂ්පාදිතයට (GDP) සෘජුවම බලපාන බැවින්, මේ පිළිබඳව බලධාරීන්ගේ කඩිනම් අවධානය යොමු විය යුතු බව ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සඳහා වන ලංකා ෆෙඩරේෂනය වැඩිදුරටත් සඳහන් කළේය.

එමෙන්ම එම සංගමය විසින් පාර්ලිමේන්තුවේ ක්‍රියාත්මක රජයේ මුදල් පිළිබඳ කාරක සභාව (COPF) වෙතද පසුගියදා මෙම කරුණු ඉදිරිපත් කළ බවද මෙහිදී පැවසිය.

MSME ක්ෂේත්‍රය ගොඩනැගීමට ඉදිරිපත් කළ “සිව්වැදෑරුම්” යෝජනා මාලාව:

1) විධිමත් පරීක්ෂණයක් පැවැත්වීම: රටේ ආර්ථික අර්බුදය හමුවේ ණය පැහැර හැරීමට සිදු වූ සහ වසා දමා ඇති ව්‍යවසාය පිළිබඳව විද්‍යාත්මක පරීක්ෂණයක් සිදු කිරීම.

2) ප්‍රතිපත්ති සම්පාදක මණ්ඩලයක් පිහිටුවීම: පෝර්ට් සිටි (Port City) සහ ආයෝජන මණ්ඩලයට (BOI) වැනි ආයතනවලට ප්‍රතිපත්ති සම්පාදක මණ්ඩල ඇති අතර, රටේ ආර්ථිකයේ මර්මස්ථානය වන MSME ක්ෂේත්‍රයට එවැනි යාන්ත්‍රණයක් නොමැති වීම විශාල අඩුවක් බව පෙන්වා දීම.

3) මූල්‍ය ප්‍රවේශය සහ CRIB ගැටලුව: ව්‍යවසායකයන්ට ප්‍රාග්ධනය ලබා ගැනීමේ හැකියාව ලබා දිය යුතු අතර, CRIB (ණය තොරතුරු කාර්යාංශය) ලැයිස්තුගත වීම ව්‍යවසායකයකුට ලැබෙන “මරණ සහතිකයක්” නොවිය යුතු බව අවධාරණය කිරීම.

4) අසමතුලිත බදු බර ඉවත් කිරීම: විදේශීය ආයෝජකයන්ට වසර 15-40 කාලසීමාවන් සඳහා බදු සහන ලබා දුන්නද, අර්බුද හතරකින් බැට කෑ දේශීය ව්‍යවසායකයාට කිසිදු බදු සහනයක් නොලැබෙන බවත්, ස්වභාවික විපත්වලින් විනාශ වූ යන්ත්‍රෝපකරණ යළි ගෙන්වීමේදී පවා අධික බදු අය කරන බවත් මෙහිදී අනාවරණය විය.

මෙහිදී අදහස් දැක් වූ උප සභාපති ගාමිණී කන්නන්ගර මහතා පෙන්වා දුන්නේ ව්‍යවසායකයන් විනාශ වෙද්දී බැංකු ක්ෂේත්‍රය අසාමාන්‍ය ලෙස ලාබ ලබා ඇති බවයි.

2022 වසරේදී 10%ක්ව පැවති පොලිය 30% දක්වා ඉහළ දැමීම අර්බුදය දරුණු වීමට ප්‍රධාන හේතුවක් විය.

එමෙන්ම 2023/24 කාලසීමාවේදී බැංකු ක්ෂේත්‍රයේ සමස්ත බදු පෙර ලාභය රුපියල් බිලියන 762කි. ඉන් රුපියල් බිලියන 295ක්ම රජයට බදු ලෙස ගෙවා ඇත. මීට පෙර වසරවලදී බැංකු බදු ලෙස ගෙවා ඇත්තේ බිලියන 15-20ක් වැනි මුදලකි.

පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම වහාම අත්හිටුවිය යුතු බවත්, CRIB ලැයිස්තුගත කිරීම් හේතුවෙන් ව්‍යවසායකයන් කොන් කිරීම නතර කළ යුතු බවත් සංගමය අවධාරණය කරයි.

නිසි ප්‍රතිපත්තිමය පදනමක් සකස් නොකර ව්‍යවසායකයන් ණයකරුවන් කර පලවා හැරීමෙන් රටේ ආර්ථිකය කිසිදා ගොඩගත නොහැකි බව ඔවුන් වැඩිදුරටත් සඳහන් කළහ.

World News

Send your contact Details Today