Latest News

දැඩි විරෝධතා මැද ඊශ්‍රායල ජනාධිපති ඔස්ට්‍රේලියාවට

Published 26 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඊශ්‍රායල ජනාධිපති අයිසැක් හර්සොග් (Isaac Herzog) මහතා සිව්දින නිල සංචාරයක් සඳහා අද ඔස්ට්‍රේලියාවට පැමිණි අතර, ඔහුගේ පැමිණීමත් සමඟ එරට දැඩි උණුසුම්කාරී තත්ත්වයක් නිර්මාණය වී තිබේ.

ජනාධිපතිවරයා සිය සංචාරය ආරම්භ කරමින් පසුගිය දෙසැම්බර් මාසයේදී යුදෙව් උත්සවයක් ඉලක්ක කර ගනිමින් වෙඩි තැබීමක් සිදුවූ සිඩ්නි නුවර බොන්ඩායි (Bondi) වෙරළ තීරයට ගොස් මියගිය පිරිස වෙනුවෙන් උපහාර දැක්වීය.

10 හැවිරිදි දැරියක ඇතුළු පුද්ගලයින් 15 දෙනෙකුට ජීවිත අහිමි වූ එම ස්ථානයේදී ඔහු ප්‍රකාශ කළේ, “එක් යුදෙව්වෙකුට හානි වූ විට මුළු යුදෙව් ප්‍රජාවටම ඒ වේදනාව දැනෙන” බවයි.

මෙම සංචාරය ඔස්ට්‍රේලියානු රජයේ ඇරයුමෙන් සිදුවුවද, ඒ සම්බන්ධයෙන් එරට තුළ දැඩි විරෝධයක් මතුව තිබේ.

විශේෂයෙන්ම ගාසා තීරයේ සිදුවන ජනසංහාරක චෝදනා මත ජනාධිපති හර්සොග්ට එරෙහිව සිඩ්නි නුවර අද සවස් කාලයේදී දැවැන්ත විරෝධතාවක් පැවැත්වීමට සංවිධානය කර ඇත.

විරෝධතා මර්දනය කිරීම සඳහා නිව් සවුත් වේල්ස් රජය විසින් පොලිසියට අමතර බලතල ලබා දී ඇති අතර, නියෝග කඩ කරන්නන්ට ඩොලර් 5,500ක් දක්වා දඩ පැනවීමටද තීරණය කර තිබේ.

එක්සත් ජාතීන්ගේ කොමිසමක් මගින් ජනාධිපතිවරයා ජනසංහාරයට පොළඹවන ප්‍රකාශ නිකුත් කළ බවට මීට පෙර චෝදනා කර තිබුණි.

මේ හේතුවෙන් ඔස්ට්‍රේලියානු මානව හිමිකම් නීතිඥයින් පිරිසක් ඔහු අත්අඩංගුවට ගන්නා ලෙසද ඉල්ලීම් කර ඇත.

ඔස්ට්‍රේලියානු අගමැති ඇන්තනි ඇල්බනීස් පවසන්නේ මෙම සංචාරය බොන්ඩායි ප්‍රහාරයෙන් පසු එරට සමාජයීය සමගිය ඇති කිරීමට වැදගත් වන බවයි.

කෙසේ වෙතත්, ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙදන්යාහු පසුගිය වසරේදී ඔස්ට්‍රේලියාව පලස්තීනය රාජ්‍යයක් ලෙස පිළිගැනීම සම්බන්ධයෙන් එරට දැඩි ලෙස විවේචනය කර තිබුණි.

ජනාධිපති හර්සොග් සිය සංචාරය අතරතුර කැන්බරා සහ මෙල්බර්න් නුවරදී අගමැති ඇල්බනීස් හමුවීමට නියමිතය.

ලොව පුරා යුදෙව් විරෝධී ආකල්ප ඉහළ යාම “ගෝලීය හදිසි තත්ත්වයක්” බව ඔහු මෙහිදී අවධාරණය කළේය.

World News

Send your contact Details Today