Latest News

අමෙරිකා – චීන බල අරගලය මැද ජයග්‍රහණය කළ ජපාන අගමැතිනිය ට්‍රම්ප් හමුවීමට යයි

Published 26 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ජපාන අග්‍රාමාත්‍ය සනායේ ටකයිචි (Sanae Takaichi) මහත්මිය විසින් කැඳවන ලද හදිසි මහ මැතිවරණයෙන් ඇයගේ පාලක ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය (LDP) අතිවිශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කිරීමට සමත් වී ඇත.

මෙය ජපාන දේශපාලන ඉතිහාසයේ සන්ධිස්ථානයක් ලෙස සැලකෙන්නේ දෙවන ලෝක යුද්ධයෙන් පසුව තනි පක්ෂයක් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් ලබාගත් පළමු අවස්ථාව මෙය වන බැවිනි.

ඒ අනුව ජපාන පහළ මන්ත්‍රී මණ්ඩලයේ ආසන 465න් 310කට අධික සංඛ්‍යාවක් LDP පක්ෂය විසින් දිනාගෙන ඇත.

පාලක සභාගය (Ruling Coalition) සමස්තයක් ලෙස ආසන 340කට වඩා දිනා ගැනීමට සමත් විය.

මෙම තුනෙන් දෙකක සුපිරි බහුතරය (Supermajority) හරහා ඉහළ මන්ත්‍රී මණ්ඩලයේ තීරණ අභිබවා යාමට සහ ව්‍යවස්ථා සංශෝධන ඉදිරිපත් කිරීමට ටකයිචි මහත්මියට පූර්ණ බලය හිමිවේ.

සිය ජයග්‍රහණයෙන් පසු NHK නාලිකාව සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් අගමැතිනිය ප්‍රකාශ කළේ, දැඩි ශීතල සහ හිම පතනය මධ්‍යයේ වුවද ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණි ජනතාවට තමන් ස්තූතිවන්ත වන බවයි.

රටේ ආර්ථික ප්‍රතිපත්තිය විශාල වෙනසකට ලක් කිරීම සඳහා තමන් ඉල්ලා සිටි “වගකීම් සහගත ජනවරම” ජනතාව ලබා දී ඇති බව ඇය වැඩිදුරටත් පැවසුවාය.

මේ අතර ජපාන අග්‍රාමාත්‍ය සනායේ ටකයිචි (Sanae Takaichi) ලබන මාර්තු මාසයේදී අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවී සාකච්ඡා පැවැත්වීම සඳහා වොෂින්ටන් බලා යාමට නියමිතය.

මෙය ඇය අගමැති ධුරයට පත්වීමෙන් පසු ජනාධිපති ට්‍රම්ප් සමග පවත්වන දෙවැනි නිල හමුවයි.

මෙම සංචාරය පිළිබඳව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂකයින්ගේ දැඩි අවධානය යොමුව ඇත්තේ ලෝක බලවතුන් දෙදෙනා වන අමෙරිකාව සහ චීනය අතර පවතින උණුසුම්කාරී තත්ත්වය හමුවේ ජපානය අනුගමනය කරන පිළිවෙත හේතුවෙනි.

ජපාන මැතිවරණයට දින කිහිපයකට පෙර සිටම ඩොනල්ඩ් ට්‍රම්ප්, සනායේ ටකයිචිට සිය සහය පළ කළ අතර ඇය ලැබූ විශිෂ්ට ජයග්‍රහණය ද ඔහු අගය කළේය.

මෙම සංචාරයේ ප්‍රධාන අරමුණක් වන්නේ දෙරට අතර පවතින මිත්‍රත්වය තවදුරටත් තහවුරු කර ගැනීම සහ නව වෙළඳ ගිවිසුම්වල (Tariff deal) විස්තර අවසන් අදියරට රැගෙන ඒමයි.

ට්‍රම්ප් සහ චීන ජනාධිපතිවරයා අතර පැවැත්වීමට නියමිත සමුළුවට පෙර මෙම හමුව සිදුවෙයි.

චීනය විසින් තායිවානයට ප්‍රහාරයක් එල්ල කළහොත් ජපානය හමුදාමය වශයෙන් ඊට ප්‍රතිචාර දැක්විය හැකි බවට ටකයිචි පසුගිය වසරේ කළ ප්‍රකාශය හේතුවෙන් ජපානය සහ චීනය අතර සබඳතා දැඩි සේ පළුදු වී ඇත.

ජපානයේ විශාලතම වෙළඳ හවුල්කරුවා වන්නේ චීනයයි. එබැවින් චීනය සමග පවතින සබඳතා තවදුරටත් පිරිහීම ජපාන ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල කළ හැකිය.

සනායේ ටකයිචි යනු කලක සිටම චීනය කෙරෙහි දැඩි මතධාරී (China hawk) ප්‍රතිපත්තියක් අනුගමනය කරන නායිකාවකි.

ලෝකයේ විශාලතම ආර්ථිකයන් දෙක වන ඇමරිකාව සහ චීනය අතර පවතින ගැටුමේදී, ජපානයේ ස්ථාවරය ආරක්ෂා කර ගනිමින් සමතුලිතව කටයුතු කිරීම ඇයගේ අගමැති ධුරයේ සාර්ථකත්වය තීරණය කරන ප්‍රධානතම පරීක්ෂණය වනු ඇත.

World News

Send your contact Details Today