Latest News

“Father බොහෝ කාලයක් තිස්සේ ඉල්ලමින් සිටි ශානරයේ චිත්‍රපටයක්” – ආශා දිල්රුක්ෂි

Published 26 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

චමින්ද ජයසූරිය අධ්‍යක්ෂණය කළ ආචාර්ය ශාන්ත ගීතදේව නිෂ්පාදනය කළ ‘ෆාදර්’ චිත්‍රපටය මේ වනවිට දිවයින පුරා සිනමා ශාලාවලදී අතිසාර්ථකව තිරගත වෙනවා. මෙහිදි බොහෝ දෙනාගේ අවධානය දිනාගත් අලුත් මුහුණක් සිනමාවට හඳුන්වාදීමත් සිදු වෙනවා. තමන්ට ලැබෙන කාලයට වඩා ඒ තුළ කරන රූපණය කොයි තරම් ප්‍රබල ද යන්න මැනවින් විදහාපාන දර්ශනයක පෙනීසිටින ඇය කවුරුන්ද යන වග මේ දිනවල බොහෝ දෙනා සොයන නිසාම අපි ඇය හා කතා කළා. ඇය ආශා දිල්රුක්ෂි.

ආශා, කොහොමද මේ දවස්වල ජීවිතේ?

හරිම සතුටින් ඉන්නේ. මගේ ජීවිතේ ලස්සනම අවුරුද්ද 2026 වේවි කියන හැඟීමත් එක්ක හරි සතුටින් ඉන්නවා.

මේ දවස්වල ෆාදර් චිත්‍රපටය සාර්ථකව තිරගත වෙනවා. ලැබෙන ප්‍රතිචාර කොහොමද?

මම හිතන විදිහට ෆාදර් කියන්නේ ලාංකේය සිනමාව බොහෝ කාලයක් තිස්සේ ඉල්ලමින් සිටි ශානරයේ චිත්‍රපටයක්. ෆාදර් එන්නේ හොඳම කාලයේ කියලයි මට හිතෙන්නේ. සම්බන්ධ වුණු සියල්ලන්ගේම කැපවීම සහ දක්ෂතාව හරි හරියට ලැබිලා තියෙනවා. ඒක අධ්‍යක්ෂවරයකුට ලැබෙන ලොකු වාසනාවක්. ෆාදර් චිත්‍රපටයට වගේම මටත් ඉතා හොඳ ප්‍රතිචාර ලැබෙනවා. සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ දෙනෙක් මාව හොයලා තිබුණා. කවුද මේ පොඩි ස්ක්‍රීන් ටයිම් එකක ඉන්න කෙනා කියලා. ගොඩක් අය සුබ පතලා තිබුණා.

ඔය අතරේ අමතක නොවන ප්‍රතිචාරත් ඇති?

චිත්‍රපටය සංස්කරණය කරද්දි මගේ දර්ශනය දැකලා පූජන අයියා කතා කරලා සුබ පතපු වෙලාවේ තමයි මට මුලින්ම සතුටු හිතුණේ. දර්ශන තලේදිත් ප්‍රවීණ රංගන ශිල්පීන්ගෙන් මට හොඳ ප්‍රතිචාර ලැබුණා. පොඩී ටයිම් එකක් ඇතුළේ ලොකු දෙයක් කරලා කියලයි කීවේ. ෆ්‍රේම්එකට සෙට් වෙන මරු මූණක් කියලත් කිවුවා. ගොඩක් සතුටුයි.

ඒ අවස්ථාව ලැබෙන්නේ කොහොමද?

ආරාධනාව ආවේ චමින්ද අයියාගෙන්. මම වේදිකාවේ සෑහෙන කාලයක් තිස්සේ වැඩ කරනවා. රඟපානවා වගේම අනුශාංගික අංගවලිනුත් වේදිකාවත් එක්ක ඉන්නවා. චමින්ද අයියා මාව දැකලා තියෙනවා. අපි කලාව ගැන කරන සංවාදවලදි හමුවෙලත් තියෙනවා. ඒ හැඳුනුම්කමත් එක්ක තමයි මේ නිර්මාණයට අවස්ථාව ලැබෙන්නේ.

කරන්න තියෙන්නේ මෙන්න මෙහෙම චරිතයක් කිවුවම මොකද හිතුණේ?

මේ ජවනිකාව ගැන විස්තර කියලා මගෙන් ඇහුවා මේ චරිතය කරන්න කැමතිද කියලා. එහෙම අහද්දි මට පොඩි චකිතයකුත් තිබුණා මට ඒක කරගන්න පුළුවන් වෙයිද කියලා. චමින්ද අයියට මට වඩා විශ්වාසයක් තිබුණා මට මේ චරිතය කරන්න පුළුවන් කියලා. චමින්ද අයියා දවස් කිහිපයක්ම කෝල් කර කර මේ චරිතය ගැන විස්තර කළා. වෙඩි තියෙන දර්ශනය සහ ලේ තවරන් කෑගහන දර්ශනය තමයි ලොකුම අභියෝගය වුණේ. මොකද ඒවා වන්ටේක් ගන්න ඕනේ. මම හිතනවා සාධාරණයක් කළා කියලා. ට්‍රේලර් එක දකිද්දි හිතුණා මම වැඩේ හොඳට කරලා තියෙනවා කියලා. චරිතය සාර්ථක කරගන්න උදවු කරපු හැමෝටම ස්තුතිවන්ත වෙනවා.

ආශා රංගනයේදී සීමා පනවාගෙන නැද්ද?

නැහැ. මම එහෙම සීමා පනවාගෙන නැහැ. රංගන ශිල්පිනියක් හෝ ශිල්පියෙක් එහෙම සීමා පනවගන්නවා නම් එයාට මේ කලාවත් එක්ක රැඳෙන්න බැහැ. නිර්මාණයට සාධාරණයක් කරන්න පුළුවන් නම් මම එහෙම සීමාවන් පනවාගන්නේ නැහැ.

ආශා කොහොමද කලාවට එන්නේ?

මෙතෙක් දුරක් හරි මං ගමනක් ආවා නම් ආවේ වේදිකාව හරහා. පාසල් කාලයේ මම රංගකලාව හදාරලා තිබුණේ නැහැ. උසස් පෙළ කරද්දි තමයි මුලින්ම කෙටි නාට්‍යයක රඟපාන්න ලැබුණේ. ඒ දමිත් රත්නායකගේ ‘මං කොල්ලෙක්’ වේදිකා නාට්‍යයේ. ඒ වෙද්දි මම රංගනය ගැන හදාරලා නොතිබුණු නිසා චරිතයකට අනුගත වෙන හැටි, හැඟීම් දනවන හැටි, දෙබස් උච්චාරණය ගැන කිසිම දැනුමක් තිබුණේ නැහැ. ඒ නිසා සෑහෙන්න මහන්සි වෙන්න වුණා වගේම අධ්‍යක්ෂකගෙන් ගුටි කන්නත් වුණා. ඒ වගේ අභ්‍යාසයක් මං හිතන්නේ කාටවත් ලැබිලා නැතුව ඇති. ඒකේ ප්‍රතිඵලයක් විදිහට තමයි පළමු අවස්ථාවේදීම හොඳම නිළිය සම්මානය ලැබුණේ. ඊට පස්සේ කමල් පී. අලහකෝන්, නිමල් රත්නායක, සිසිර තඩිකාර, අකිල සපුමල් වගේ අධ්‍යක්ෂවරුන්ගේ නාට්‍යවලට දායක වුණා. විශ්වවිද්‍යාලයේ දී තමයි මට නාට්‍ය හා රංග කලාව විෂයක් විදිහට හදාරන්න පුළුවන් වුණේ. විෂයට තිබුණු ආසාව නිසාම මම පශ්චාද් උපාධියටත් නාට්‍ය හා රංග කලාව හැදෑරුවා.

මේ වෙද්දී කරපු නිර්මාණ මොනවද?

අකිල සපුමල්ගේ බැකී, හිනා වෙලා මිනිත්තුවක්, නාට්‍යවල රාජ්‍ය නාට්‍ය උලෙළ නියෝජනය කරලා තියෙනවා. දමිත් රත්නායකගේ ‘පැමිණිල්ලක් දාමුද’ ‘ඩොලර් හීන’ නාට්‍යවලින් යෞවන සම්මාන නාට්‍ය උලෙළ, රාජ්‍ය නාට්‍ය උලෙළ නියෝජනය කළා. යෞවන සම්මාන උලෙළ් හොඳම සහාය නිළිය විදිහට නිර්දේශ වුණා. පුංචි තිරය ගත්තොත් නිමල් රත්නායකගේ ‘මැටි කඩුලු’ නාට්‍යයේ සජීගේ චරිතය, ප්‍රියන්ත ප්‍රනාන්දුගේ “සසංකාරා’ ශ්‍රීයානි ලෙසත් අසංක සායක්කාරගේ “ඇයි අපි සුදුද’ ආශා ටීචර් ලෙසත් රංගනයෙන් දායක වෙලා තියෙනවා.

ඉදිරියට එන්න තියෙන නිර්මාණ ගැනත් කියමු?

නිර්මාණ කිහිපයකටම ආරාධනා ලැබිලා තියෙනවා. තවම රූපගත කිරීම් ආරම්භ වෙලා නැහැ. ෆාදර් චිත්‍රපටයෙන් පස්සෙත් සිනමාවේත් ආරාධනා කිහිපයක් ලැබිලත් තියෙනවා. ඒ අතර කෙටි චිත්‍රපටයකට සම්බන්ධ වෙන්නත් ලැබුණා. ඒකත් ඉදිරියේදී බලාගන්න පුළුවන් වේවි.

World News

Send your contact Details Today