දකුණු ඕස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් නුවරට දකුණු දෙසින් පිහිටි මුහුදු ප්‍රදේශයට සැහැල්ලු ගුවන් යානයක් කඩා වැටීමෙන් එහි ගමන් කළ පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට පොලිසිය තහවුරු කරයි.
සිකුරාදා පස්වරුවේ මෙම අනතුර සිදුව ඇත්තේ ඇඩිලේඩ් අගනුවර සිට කිලෝමීටර් 63ක් පමණ දුරින් පිහිටි ‘ගූල්වා සවුත්’ (Goolwa South) වරාය නගරයට ආසන්න ‘ලෝන්ග් බේ’ (Long Bay) ප්‍රදේශයේදීය.
ගුවන් නියමුවා ඇතුළු එහි ගමන් කළ පිරිමි පුද්ගලයින් තිදෙනාම අනතුරින් මියගොස් ඇති අතර, ඔවුන්ගේ සිරුරු සොයාගෙන ඇති බව පොලිසිය සෙනසුරාදා නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.
ගුවන් යානය ඉතා වේගයෙන් මුහුද දෙසට කඩා වැටෙන අයුරු දැක්වෙන වීඩියෝ දර්ශන එරට ‘7News’ නාලිකාව මගින් ප්‍රසිද්ධ කර තිබේ.
ඇසින් දුටු සාක්ෂිකරුවන් පවසන්නේ යානය නහය දෙසින් (Nose first) සිරස් අතට මුහුදට ඇදී ගිය බවයි.
ගුවන් යානයේ සුන්බුන් මේ වන විට ගොඩබිමට රැගෙන විත් ඇති අතර, අනතුරට හේතුව සෙවීම සඳහා ඕස්ට්‍රේලියානු ප්‍රවාහන ආරක්ෂක කාර්යාංශයේ (ATSB) විමර්ශකයින් අද (සෙනසුරාදා) දින එම ස්ථානයට පැමිණ පරීක්ෂණ ආරම්භ කර ඇත.