ඉන්දියාවේ ඊසානදිග මේඝාලය ප්රාන්තයේ පවත්වාගෙන ගිය නීතිවිරෝධී ගල්අඟුරු පතලක සිදුවූ දරුණු පිපිරීමකින් අවම වශයෙන් කම්කරුවන් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට පොලිසිය තහවුරු කරයි.
නැගෙනහිර ජෛන්ටියා හිල්ස් (East Jaintia Hills) ප්රදේශයේ පිහිටි මෙම පතල තුළ පිපිරීම සිදුව ඇත්තේ ඉකුත් බ්රහස්පතින්දා දේශීය වේලාවෙන් පෙවරු 11:00ට පමණ වේ.
අතිශය අනතුරුදායක “මී මිනුම් ක්රමය” (Rat-hole mining) ලෙස හැඳින්වෙන ක්රමයට, ඩයිනමයිට් යොදා පටු උමං මාර්ග සකස් කරමින් සිටියදී මෙම පිපිරීම සිදුව ඇති බව පොලිස් අධිකාරී විකාශ් කුමාර් ප්රකාශ කළේය.
මෙම අනතුරින් එක් අයෙකු බරපතල පිළිස්සුම් තුවාල ලබා රෝහල්ගත කර ඇති අතර, තවත් පිරිසක් පතල තුළ සිරවී සිටිනු ඇතැයි සැකකෙරේ.
සහන සේවකයින් මේ වන විටත් මෙහෙයුම්වල නිරතව සිටිති.
ඉන්දියාවේ ජාතික හරිත විනිශ්චය සභාව විසින් 2014 වසරේදී මෙම “Rat-hole” පතල් කැණීම් ක්රමය සහමුලින්ම තහනම් කර තිබුණද, මේඝාලය ප්රාන්තය තුළ රහසිගතව මෙම ජාවාරම සිදුවන බව පරිසර ක්රියාකාරීහු පවසති.