ලෝකයේ වඩාත්ම ජනප්‍රිය ගුප්තකේතන මුදල් ඒකකය වන බිට්කොයින් (Bitcoin) මිල අද (05 බ්‍රහස්පතින්දා) ඇමෙරිකානු ඩොලර් 71,000 සීමාවෙන් පහළට ඇද වැටී තිබේ.
මෙය 2024 වසරේ ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමෙරිකානු ජනාධිපතිවරයා ලෙස තේරී පත්වීමෙන් පසු බිට්කොයින් ලැබූ සියලු මූල්‍යමය වාසි අතුගා දැමූ දරුණු පසුබෑමක් ලෙස සැලකේ.
පසුගිය ජනවාරි මැද භාගයේ සිට ආරම්භ වූ මෙම මිල පහත වැටීම අද වන විට 7% ඉක්මවා ගිය අතර, මේ වන විට බිට්කොයින් ඒකකයක් ඩොලර් 70,900ක පමණ අගයක වෙළඳාම් වේ.
2024 දෙසැම්බර් මාසයේදී බිට්කොයින් මිල ප්‍රථම වතාවට ඩොලර් 100,000 සීමාව පසු කළ අතර, 2025 වසරේ ඔක්තෝබර් මාසයේදී එය ඩොලර් 127,000ක ඉතිහාසගත ඉහළම අගයක් සනිටුහන් කළේය.
කෙසේ වෙතත්, එතැන් සිට අඛණ්ඩව මිල පහත වැටෙමින් පවතින අතර මේ වසර ආරම්භයේ සිට පමණක් බිට්කොයින් අගය 20%කින් පමණ ක්ෂය වී තිබේ.
ජනාධිපති ට්‍රම්ප් බලයට පත්වීමෙන් පසු ක්‍රිප්ටෝ වෙළඳපොළට ලිහිල් නීති රීති පනවනු ඇතැයි ආයෝජකයින් තුළ පැවති විශ්වාසය නිසා බිට්කොයින් මිල ශීඝ්‍රයෙන් ඉහළ ගියේය.
අමෙරිකාව ලෝකයේ ක්‍රිප්ටෝ අගනුවර බවට පත් කරන බවට ට්‍රම්ප් පොරොන්දු වූ අතර ඔහු “World Liberty Financial” නමින් සිය පවුලේ සාමාජිකයන් සමඟ එක්ව ක්‍රිප්ටෝ ආයතනයක් ද ආරම්භ කළේය.
කෙසේ වෙතත්, ක්‍රිප්ටෝ වෙළඳපොළ නියාමනය කිරීම සඳහා ට්‍රම්ප් ඉදිරිපත් කළ පනත් කෙටුම්පතට අමෙරිකානු සෙනෙට් මණ්ඩලය තුළ බාධා එල්ල වීම සහ බැංකු හා ක්‍රිප්ටෝ සමාගම් අතර පවතින මතභේද හේතුවෙන් ආයෝජකයින් තුළ අවිශ්වාසයක් ගොඩනැගී ඇත.
මේ අතර, ට්‍රම්ප්ගේ “World Liberty Financial” සමාගමේ 49%ක කොටස් ඩොලර් මිලියන 500කට මිලදී ගැනීමට අබුඩාබි නිලධාරියෙකු ගිවිසුම්ගත වූ බවට පළ වූ වාර්තා සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කරන බව ඩිමොක්‍රටික් පක්ෂ මන්ත්‍රී රෝ ඛන්නා (Ro Khanna) ප්‍රකාශ කර තිබේ.
බිට්කොයින් පමණක් නොව, අනෙකුත් වෙළඳ භාණ්ඩ සහ කොටස් වෙළඳපොළවල් ද අද දින පසුබෑමක් පෙන්නුම් කළේය.
විශේෂයෙන්ම රිදී මිල 16%කින් පමණ පහළ වැටුණු අතර, හොංකොං සහ ජපාන කොටස් වෙළඳපොළ දර්ශක ද පහත වැටී ඇති බව වාර්තා වේ.