කෘතිම බුද්ධිය (AI) භාවිත කරමින් තමන්ගේ රූපය සහ හඬ අනිසි ලෙස යොදාගනිමින් නිර්මාණය කර ඇති වංචනික මූල්‍ය ආයෝජන දැන්වීම් පිළිබඳව ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන මහජනතාවට විශේෂ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.
ඔහු සඳහන් කරන්නේ සමාජ මාධ්‍ය හරහා සංසරණය වන මෙම වීඩියෝ සම්පූර්ණයෙන්ම ව්‍යාජ ඒවා බවත්, තමන් කිසිදු මූල්‍ය ආයෝජන ව්‍යාපෘතියක් ප්‍රවර්ධනය නොකරන බවයි.
“කරුණාකර මේවා විශ්වාස කරන්න එපා. මගේ කිසිදු සම්බන්ධයක් මූල්‍ය ප්‍රවර්ධන හෝ ආයෝජන සමග නැහැ. මේ වීඩියෝ AI තාක්ෂණයෙන් හදපු ව්‍යාජ ඒවා,” යැයි ඔහු පවසා සිටියි.
මෙම වංචනිකයින් මහේලගේ රූපය සහ හඬ ඉතා තාත්වික ලෙස අනුකරණය කිරීමට AI තාක්ෂණය යොදාගෙන ඇති බැවින්, සාමාන්‍ය ජනතාවට ඒවා සැබෑ වීඩියෝ ලෙස පෙනී යා හැකියි.
සයිබර් ආරක්ෂණ විශේෂඥයින් පවසන පරිදි මෙවැනි වංචනික දැන්වීම් හඳුනා ගැනීමට පහත ලක්ෂණ උපකාරී වෙයි.
ඒ අනුව, වීඩියෝවේ මුහුණේ ඉරියව් අස්වාභාවික වීම හෝ තොල් සෙලවීම සහ හඬ අතර නොගැලපීමක් තිබීම, ඉතා කෙටි කාලයකින් විශාල මුදලක් උපයාගත හැකි බවට කරන පොරොන්දු, “දැන්ම ආයෝජනය කරන්න” වැනි පණිවිඩ හරහා පුද්ගලයා කලබලයට පත් කිරීම, නිල වෙබ් අඩවි වෙනුවට WhatsApp හෝ වෙනත් පෞද්ගලික පණිවිඩ සේවා හරහා සම්බන්ධ වීමට ඉල්ලා සිටීම සහ බැංකු ගිණුම් තොරතුරු හෝ OTP අංක වැනි රහසිගත දත්ත ඉල්ලා සිටීමයි.
මෙවැනි සැකකටයුතු දැන්වීමක් දුටුවහොත්, එම පුද්ගලයාගේ නිල සමාජ මාධ්‍ය ගිණුම් පරීක්ෂා කරන ලෙසත්, කිසිදු පෞද්ගලික තොරතුරක් ලබා නොදෙන ලෙසත්, බලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටියි.
