යුරෝපා සංගමයේ දුප්පත්ම සාමාජික රාජ්‍යය වන කළු මුහුදට මායිම්ව පිහිටි බල්ගේරියාවේ අගනුවර වන සෝෆියා ඇතුළු නගර ගණනාවක ඊයේ සන්ධ්‍යාවේදී දහස් ගණනක් බල්ගේරියානුවන් රජයට එරෙහි විරෝධතා දක්වා තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ රටේ ව්‍යාප්ත වී ඇති දූෂණය පාලනය කිරීමට රජය අසමත් වීම සම්බන්ධයෙන් ඔවුන් මෙලෙස විරෝධතා දක්වන බවයි.
මෙම විරෝධතා මාලාව පැවැත්වෙන්නේ බල්ගේරියාව ලබන ජනවාරි 1 වැනිදා සිට යුරෝ මුදල් ඒකකය (euro) භාවිතයට ගැනීමට සූදානම් වන මොහොතකයි.
අගමැති රොසෙන් ෂෙලෙස්නිකොව්ගේ සුළුතර ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් පිළිබඳ ඡන්ද විමසීමක් බ්‍රහස්පතින්දා බල්ගේරියානු පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිතයි.
එය මෙම වසරේ ජනවාරි 15 වන දින බලයට පත් වූ පසු පැවැත්වෙන හයවන විශ්වාසභංග ඡන්දයයි.
විරෝධතාකරුවන් මධ්‍යම සෝෆියාවේ පිහිටි පාර්ලිමේන්තු ගොඩනැගිල්ල මතට ‘ඉල්ලා අස්වන්න’, ‘මාෆියාව පිටුවහල් කරන්න’ සහ ‘සාධාරණ මැතිවරණ සඳහා’ යන වචන ලේසර් ආධාරයෙන් ප්‍රක්ෂේපණය කර තිබුණේය.
ජනතාව ඉල්ලා සිටින්නේ අධිකරණ පද්ධතිය නිවැරදි කළහොත් අනෙක් සියල්ල නිසි තැනට වැටෙන බැවින්, අධිකරණ ප්‍රතිසංස්කරණයක් අවශ්‍ය බවයි.
පසුගිය සතියේ දැවැන්ත විරෝධතා හේතුවෙන් රජය විසින් යුරෝවලින් කෙටුම්පත් කරන ලද පළමු අයවැය වන 2026 අයවැය සැලැස්ම ඉවත් කර ගත්තේය.
ඉහළ රාජ්‍ය වියදම් සඳහා මුදල් යෙදවීම වෙනුවෙන් සමාජ ආරක්ෂණ දායක මුදල් සහ ලාභාංශ මත බදු ඉහළ නැංවීමට රජය දැරූ උත්සාහයට විරුද්ධ පක්ෂ සහ සංවිධාන විරෝධය පළ කරයි.
අයවැය සැලැස්ම ඉවත් කර ගැනීමත් සමඟම පවා විරෝධතා නොනැවතී ඉදිරියට ගමන් කිරීමට දක්නට හැකියි.
දේශපාලන හා සමාජ බෙදීම් මධ්‍යයේ, බල්ගේරියාව පසුගිය වසර හතරක කාලය තුළ ජාතික මැතිවරණ හතක් පවත්වා තිබේ.
අලුත්ම මැතිවරණය පැවැත්වුණේ 2024 ඔක්තෝබර් මාසයේදීයි.
පාලක සන්ධාන හවුල්කරුවන් ජනවාරි 1 වනදා යුරෝ කලාපයට සම්බන්ධ වීමට පෙර ඉල්ලා අස් නොවන බව පාලක GERB පක්ෂයේ නායක සහ හිටපු අගමැති බොයිකෝ බොරිසොව් පැවසූ බව බල්ගේරියානු පුවත් ඒජන්සියක් බදාදා වාර්තා කළේය.
කෙසේ වෙතත්, බදාදා විරෝධතාව සංවිධානය කළ එක් පක්ෂයක් වන ‘වී කන්ටිනිව් ද චේන්ජ්’ (We Continue the Change) පක්ෂයේ අසේන් වාසිලෙව් පැවසුවේ, රජය ඉල්ලා අස් වුවද, බල්ගේරියාව යුරෝ කලාපයට ඇතුළු වන බවයි.