ජපානය සමඟ උද්ගත වී ඇති රාජ්‍යතාන්ත්‍රික අර්බුදය හේතුවෙන් චීනයේ සිට ජපානය දක්වා සිදු කිරීමට නියමිත ගුවන් ගමන්වලින් 40%කට වැඩි ප්‍රමාණයක් අවලංගු කර ඇතැයි චීනයේ සීජීටීඑන් මාධ්‍ය වාර්තාවක් උපුටා දක්වමින් බ්ලූම්බර්ග් පුවත් සේවය සඳහන් කළේය.
එම අවලංගු කිරීමේ සංඛ්‍යාව මේ වන විට ගුවන් ගමන් 1,900 ඉක්මවා ගොස් ඇති බවත්, සංචාරක ව්‍යාපාරය මත දැඩි ලෙස රඳා පවතින ජපානයේ ඔසාකා සහ සපෝරෝ වැනි නගරවලට එය දැඩි බලපෑමක් වනු ඇති බවත් බ්ලූම්බර්ග් පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළේය.
එම ගුවන් ගමන් කප්පාදුව ලබන වසරේ මාර්තු මාසය දක්වා සිදුවනු ඇතැයි ද අනාවැකි පළ වී ඇති අතර, ගුවන් ප්‍රවේශපත්‍ර වෙන් කරවා ගත් චීන ජාතිකයන්ට චීන ගුවන් සේවා මඟින් නැවත මුදල් ලබාදීම කිසිදු දඩ මුදලක් අය කිරීමකින් තොරව සිදුවන බව ද වාර්තා වේ.
දෙරට අතර ගුවන් ගමන් බිඳ වැටීමෙන් ජපානයට මෙන්ම චිනයේ ගුවන් සමාගම්වලට ද බලපෑම් එල්ල වනු ඇතැයි සවුත් චයිනා මෝනිං පෝස්ට් පුවත් සේවය වාර්තා කළේය. ස්වාධීන විශ්ලේෂකයකු වන ලී හැන්මින්ගේ පර්යේෂණ දත්ත උපුටා දක්වමින් එම පුවත් සේවය සඳහන් කර ඇත්තේ අහිමි වූ ප්‍රවේශපත්‍ර ආදායම යුවාන් බිලියන ගණනක් විය හැකි බවය.