ඔස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත පාර්ලිමේන්තුව ඉදිරිපිට පැවති යුදෙව් විරෝධී නව-නාසි විරෝධතාවකට සහභාගී වූ දකුණු අප්‍රිකානු ජාතිකයෙකුගේ වීසා බලපත්‍රය අවලංගු කර ඔහුව රටින් පිටුවහල් කිරීමට එරට රජය තීරණය කර ඇත.
මෙම පෙළපාලිය පවත්වා සතියකට පසුව, ස්වදේශ කටයුතු අමාත්‍ය ටෝනි බර්ක් විසින් දකුණු අප්‍රිකානු ජාතික මැතිව් ගෘටර් ගේ වීසා බලපත්‍රය මෙසේ අවලංගු කරන ලදී.
“ජාතික සමාජවාදී ජාලය” ලෙස පැවති, වර්තමානයේ “සුදු ඕස්ට්‍රේලියාව” ලෙස හඳුන්වා ගන්නා මෙම කණ්ඩායම, “යුදෙව් බලපෑම අහෝසි කරනු” යනුවෙන් සඳහන් දැවැන්ත බැනරයක් ප්‍රදර්ශනය කරමින් මැකුවාරි වීදියේ පෙළ ගැසී සිටියහ.
නොවැම්බර් 8 වන දින සිදුකළ මෙම ක්‍රියාව සම්බන්ධයෙන් ඔවුන් සමාජ මාධ්‍ය ඔස්සේ ද ප්‍රචාරය කර තිබුණි.
අමාත්‍ය ටෝනි බර්ක් ප්‍රකාශයක් කරමින් කියා සිටියේ, “ඔබ වීසා බලපත්‍රයක් මත සිටින්නේ නම්, ඔබ ආගන්තුකයෙකි. ඔබ පුරවැසියෙකු නම්, ඔබ ඕස්ට්‍රේලියානු පවුලේ පූර්ණ සාමාජිකයෙකි. ඕනෑම නිවසක මෙන්, ආගන්තුකයෙකු වෛරය පතුරුවාලීමට සහ නිවස විනාශ කිරීමට පැමිණියහොත්, ඔවුන්ට ආපසු ගෙදර යන ලෙස පැවසීමට අපට අයිතියක් ඇත.”
විනාඩි 20කට අඩු කාලයක් පැවති මෙම පෙළපාලිය නිව් සවුත් වේල්ස් පොලිසියේ නිරීක්ෂණය යටතේ නීත්‍යානුකූලව අවසර ලබාගෙන පවත්වා තිබේ.
මහජන රැස්වීමක් පැවැත්වීම සඳහා කණ්ඩායම විසින් බලධාරීන් දැනුවත් කර තිබූ අතර, පොලිසිය ඊට විරුද්ධ වී නොතිබූ බව පසුව තහවුරු විය.
කළු පැහැති නිල ඇඳුමින් සැරසී සිටි විරෝධතාකරුවන්ගෙන් සමහරෙකුගේ ජැකට්වල ලාංඡන ද සවි කර තිබුණි.
ඇතැමුන් තොප්පි සහ අව් කණ්ණාඩිවලින් මුහුණු ආවරණය කරගෙන සිටියද, බොහෝ දෙනෙක් වීඩියෝ ගත කිරීම හෝ හඳුනා ගැනීම පිළිබඳව තැකීමක් නොකරන බවක් පෙනී ගියේය.
සිවිල් ඉංජිනේරුවරයෙකු වන ගෘටර්, සමාජ මාධ්‍ය ක්‍රියාකාරිනියක වන සිය බිරිඳ සමඟ ඕස්ට්‍රේලියාවේ වාසය කර ඇති බව වාර්තා වන අතර, ඔහුට දැන් රට හැර යාමට සිදුවනු ඇත.
මෙම පෙළපාලියට අවසර දීම සම්බන්ධයෙන් නිව් සවුත් වේල්ස් පොලිස් කොමසාරිස් මල් ලැන්යන් කියා සිටියේ තමන් ඒ පිළිබඳව දැනුවත් නොසිටි බවත්, ඒ සඳහා “සන්නිවේදන දෝෂයක්” හේතු වූ බවත්ය. ප්‍රාන්ත අගමැති ක්‍රිස් මින්ස් පැවසුවේ මෙම උත්සවය අනුමත නොකළ යුතුව තිබූ බවත්, මීට පෙර සිඩ්නි නුවර පැවති පලස්තීන හිතවාදී විරෝධතා සඳහා පොලිසිය විරුද්ධ වූ ආකාරයටම, මෙයට විරුද්ධ නොවූයේ මන්දැයි සොයා බැලීමට පරීක්ෂණයක් පවත්වන බවත්ය.
වර්ගය, ජාතිකත්වය හෝ වාර්ගික-ආගමික පසුබිම මත පදනම්ව ජනතාවට එරෙහිව වෛරය ඇවිස්සීම අපරාධයක් බවට පත් කරමින් අගෝස්තු මාසයේ සිට ක්‍රියාත්මක වූ නව නීති මධ්‍යයේ වුවද මෙම රැළියට අවසර ලැබී තිබීම විශේෂත්වයකි.
මීට පෙරද, රැප් ගායක කාන්යේ වෙස්ට් සහ දක්ෂිණාංශික මතවාදී කැන්ඩස් ඕවන්ස් වැනි “විසංවාදය ඇවිස්සීමට” සම්බන්ධ විදේශිකයන්ගේ වීසා බලපත්‍ර අවහිර කිරීමට අමාත්‍ය බර්ක් කටයුතු කර තිබුණි.