ආනයනික තීරුබදු ඉහළ නැංවීම සම්බන්ධයෙන් අමෙරිකාව සහ ඉන්දියාව අතර උද්ගත වූ අර්බුදය මේ සතියේදී නිමාවට පත්වනු ඇතැයි අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විශ්වාසය පළ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
දෙපාර්ශ්වය අතර නව ද්විපාර්ශ්වික වෙළෙඳ ගිවිසුමක් සඳහා ඉතා ඉක්මනින් අත්සන් තබනු ඇතැයි ද ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.
ධවල මන්දිරයේදී වාර්තාකරුවන් අමතා අමෙරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ, ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සමඟ පැවති දුරකතන සංවාදය අතිශයින්ම සාර්ථක බවය.
ඒ අනුව ලබන වසරේදී ඉන්දියාවේ සංචාරයක නිරතවීමට හැකියාව ලැබෙනු ඇති බවත් ඩොනල්ඩ් ට්‍රම්ප් වැඩිදුරටත් ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
අමෙරිකාව සහ ඉන්දියාව අතර නව වෙළෙඳ ගිවිසුමක් සඳහා පැවැති සාකච්ඡාව සාර්ථකව නිමාවට පත්වීමට නියමිත බැවින් තීරුබදු පහළ දැමීමට සැලසුම් කළ බව ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගියදා ප්‍රකාශ කළ අතර, ඉන්දීය ගොවින් සහ කිරි නිෂ්පාදන ක්ෂේත්‍රයට බලපෑමක් ඇති නොවන ආකාරයෙන් සියලු කටයුතු සිදුවනු ඇතැයි ඉන්දීය වාණිජ ඇමැති පියුෂ් ගොයාල් ප්‍රකාශ කළ බව ද වාර්තා වේ.