ඉන්දියාවේ චන්ද්‍රිකා සන්නිවේදන සේවා වාණිජමය වශයෙන් ආරම්භ කිරීමට පෙර යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ පියවරක් ලෙස එරට නගර 9ක චන්ද්‍රිකා තාක්ෂණ මධ්‍යස්ථාන පිහිටුවීමට එලෝන් මස්ක්ගේ ස්ටාර්ලින්ක් සමාගම සැලසුම් කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
මුම්බායි, නොයිඩා, චන්දිගාර්ත්, කොල්කටා, හයිද්‍රබාද් සහ ලක්නව් ඇතුළු ඉන්දියාව පුරා නගර 9ක එම චන්ද්‍රිකා තාක්ෂණ මධ්‍යස්ථාන පිහිටුවනු ඇතැයි එරට මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.
අදාළ චන්ද්‍රිකා තාක්ෂණ මධ්‍යස්ථානවල සේවය කිරීම සඳහා විදේශීය තාක්ෂණ විශේෂඥයන් ගෙන්වා ගැනීමට ස්ටාර්ලින්ක් සමාගම මේ වනවිට ඉන්දීය රජයෙන් ඉල්ලීමක් කර ඇතැයි ද, විදේශිකයන් සඳහා ආරක්ෂක නිශ්කාශන ලැබෙනතුරු ඉන්දීය ජාතිකයන් පමණක් සේවයට යොදා ගන්නා ලෙස ස්වදේශී කටයුතු අමාත්‍යාංශය එම සමාගමට දැනුම් දී ඇතැයි ද එරට මාධ්‍ය සඳහන් කරයි.
එලෝන් මස්ක්ගේ ස්පේස් එක්ස් අභ්‍යවකාශ ගවේෂණ සමාගමේ අනුබද්ධිත ආයතනයක් ලෙස ක්‍රියාත්මක වන ස්ටාර්ලින්ක් චන්ද්‍රිකා තාක්ෂණ සන්නිවේදන සමාගම මේ වනවිට ලොව පුරා රටවල් 150කට ආසන්න සංඛ්‍යාවක ව්‍යාප්ත වී ඇතැයි ද වාර්තා වේ.