ඓතිහාසික සෙංකඩගලපුර ඇසළ පෙරහර මංගල්‍යෙයේ අවසන් රන්දෝලි පෙරහර අද (19) වීදි සංචාරය කිරීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව අද රාත්‍රී 06.57ට යෙදෙන සුබ මොහොතින් උතුරු දිශාභිමුඛව පිටත් වෙන දළදා පෙරහර නාථ, විෂ්ණු, කතරගම සහ පත්තිනි යන සිව් මහා දේවාල පෙරහර සමඟින් වීදි සංචාරයට එක්වනු ඇති.
දළදා වීදිය, යටිනුවර වීදිය, කන්දේ වීදිය, ඩී.එස්.සේනානායක වීදිය ඔස්සේ ගමන් කරන පෙරහර රජ වීදියෙන් යළි ශ්‍රී දළදා මාලිගාව වෙත ගෙවැදීමට නියමිතයි.
සිව් වන රන්දෝලි පෙරහර ඊයේ (18) වීදි සංචාරය කළ අතර එහිදී සධාතුක පෙරහැර කරඩුව වැඩම කරන ලද්දේ රුහුණු කතරගම මහ දේවාලයේ වාසනා හස්තියා විසින්.
සිංහරාජා සහ මියන්රාජා යන ඇතුන් දෑලේ ගමන් කළා.
ශ්‍රී දළදා මාලිගාව නියෝජනය කරමින් දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පෙරහරේ ගමන් කරනු ලැබුවා.
අවසන් රන්දෝලි පෙරහර වීදි සංචාරය කිරීමෙන් අනතුරුව සධාතුක පෙරහර කරඩුව ඓතිහාසික ගෙඩිගේ රජ මහ විහාරයේ තැම්පත් කිරීම සිදුකෙරෙනවා.
අනතුරුව සිව් මහා දේවාල ගැටඹේ දිය කපනා ගං තොටට පැමිණ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කිරීමට නියමිතයි.
පසුව එදින දිවා පෙරහර ඩී.එස්.සේනානායක වීදිය, රජ විදිය ඔස්සේ ගමන් කොට දළදා වීදියට ප්‍රවේශ වන අතර අනතුරුව මහනුවර ජනපති මැදුරේදී දියවඩන නිලමේවරයා විසින් පෙරහර සන්දේශය ජනාධිපතිවරයා වෙත භාර දීමෙන් අනතුරුව මෙවර වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යය නිමාවට පත්වනු ඇති.
මේ අතර අවසන් රන්දෝලි පෙරහර වීදි සංචාරය කිරීමට නියමිත මාර්ගවල දෙපස මේ වනවිටත් බැතිමතුන් රැස්වී සිටින අයුරු දක්නට ලැබෙන බවයි WESL Radio වාර්තාකරු සඳහන් කළේ.