චීනය වෙනුවෙන් ඔත්තු බැලීමේ චෝදනාවට හිටපු ජනාධිපති සහායකයෙකු සහ පාලක ප්රජාතන්ත්රවාදී ප්රගතිශීලී පක්ෂය (DPP) විසින් සේවයේ යොදවා සිටි තවත් තිදෙනෙකු තායිවාන අධිකරණයක් විසින් වරදකරු කරනු ලැබ තිබෙනවා.
එක් අයෙක් එවකට විදේශ අමාත්‍ය ජෝසප් වූගේ කාර්යාලයේ සේවය කළ අතර ඔහු දැන් ජාතික ආරක්ෂක ප්‍රධානියා ලෙස සේවය කරන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ඒ අනුව රාජ්‍ය රහස් හෙළි කිරීම සම්බන්ධයෙන් අධිකරණය විසින් එම පුද්ගලයින්ට වසර හතරේ සිට දහය දක්වා සිර දඬුවම් නියම කර තිබෙනවා.
ඔත්තු බැලීම ඉතා දිගු කාලයක් පුරා සිදු කර ඇති අතර වැදගත් රාජ්‍ය තාන්ත්‍රික බුද්ධි තොරතුරු බෙදා ගැනීම ඊට ඇතුළත් බව තීන්දුවේ සඳහන්.
ප්‍රජාතන්ත්‍රවාදීව පාලනය වන තායිවානය තමන්ගේ යැයි බීජිනය ප්‍රකාශ කරන අතර, දෙදෙනා දශක ගණනාවක් තිස්සේ එකිනෙකා ගැන ඔත්තු බලමින් සිටිති. නමුත් මෑත වසරවලදී චීන ඔත්තු බැලීම් උත්සන්න වී ඇති බවයි තායිපේ පවසන්නේ.
දඬුවම් නියම වූ සිව්දෙනාගෙන්, තායිපේ මන්ත්‍රීවරයෙකුගේ හිටපු සහායකයෙකු වූ හුවාං චු-ජුන්ග්ට දීර්ඝතම සිර දඬුවම ලෙස වසර 10ක් නියම වුණා.
නඩු පවරන්නන් මුලින් ඉල්ලා සිටියේ වසර 18 ක් දක්වා සිර දඬුවම් ලබා දෙන ලෙසයි.
ඔවුන් හතර දෙනාටම එරෙහිව ජුනි මාසයේදී චෝදනා එල්ල වුණා.
එනම් ඔවුන් DPP පක්ෂයෙන් නෙරපා හැරීමෙන් මාසයකට පසුවයි.
අධිකරණයට අනුව, හුවාං විදේශ කාර්යාල කාර්ය මණ්ඩල සාමාජිකයෙකුට එවකට විදේශ අමාත්‍යවරයා වූ වූගෙන් තොරතුරු ලබා ගන්නා ලෙස උපදෙස් දී තිබුණා.
ඉන්පසු ඔහු මෙම තොරතුරු භාවිතා කරමින් වාර්තා ලියා, සංකේතාත්මක මෘදුකාංග භාවිතයෙන් චීන කොමියුනිස්ට් පක්ෂ බුද්ධි අංශයට යවා තිබෙනවා.
විදේශ කාර්යාල කාර්ය මණ්ඩල සාමාජික හෝ ජෙන්-චියේට වසර අටකුත් මාස දෙකක සිර දඬුවමක් නියම වුණා.