ලොව ප්‍රමුඛතම කෝපි අලෙවිසැල් ජාලය වන ස්ටාර්බක්ස් ආයතනය, උතුරු ඇමරිකාවේ පිහිටි සිය වෙළෙඳසැල් 100ක් වසා දමා සේවකයන් 900 දෙනෙකු ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.
ඒ ඩොලර් බිලියනයක දැවැන්ත ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළක් යටතේයී.
මෙම වසර ආරම්භයේදීම ආයතනික තනතුරු 1,100ක් කපා හැරීමට කටයුතු කළ ස්ටාර්බක්ස් සමාගම, නව රැකියා කප්පාදුව පිළිබඳව අදාළ සේවකයන් සිකුරාදා දිනයේදී දැනුවත් කිරීමට නියමිතයි.
මෙම ක්‍රියාවලියේදී දැනටමත් පුරප්පාඩුව පවතින තනතුරු ගණනාවක් ද අහෝසි කෙරෙන අතර, ඉවත් කෙරෙනුයේ ‘සිල්ලර නොවන’ හෙවත්පා රිභෝගිකයන් හා සෘජුව ගනුදෙනු නොකරන අංශවල සේවකයන් බව සමාගම අවධාරණය කරනවා.
සිය ව්‍යාපාරය නැවත නඟාසිටුවීමේ දැඩි අභියෝගයකට මුහුණ දී සිටින ස්ටාර්බක්ස් සමාගමේ එක්සත් ජනපද අලෙවිය, පසුගිය කාර්තු හය පුරාවටම අඛණ්ඩ පහත වැටීමක් වාර්තා කර තිබෙනවා.
වසර ගණනාවක් තිස්සේ පවතින ඉහළ උද්ධමනකාරී තත්ත්වය හේතුවෙන් පාරිභෝගිකයන් මිල අධික කෝපි සඳහා වියදම් කිරීමට දෙවරක් සිතීම මෙම පසුබෑමට ප්‍රධාන හේතුවක් වී ඇති බව විශ්ලේෂණය කෙරෙනවා.
බ්‍රහස්පතින්දා දිනයේදී සේවකයන් අමතමින් ලිපියක් නිකුත් කළ ස්ටාර්බක්ස් ප්‍රධාන විධායක නිලධාරී බ්‍රයන් නිකොල් පවසා සිටියේ, වඩා සාර්ථකව ක්‍රියාත්මක වන අංශ ශක්තිමත් කිරීම සඳහා සම්පත් යොමු කිරීම මෙම තීරණවල අරමුණ බවයි.
වඩා යහපත්, ශක්තිමත් සහ ඔරොත්තු දීමේ හැකියාවෙන් යුතු ස්ටාර්බක්ස් සමාගමක් ගොඩනැගීම සඳහා මෙම පියවර අත්‍යවශ්‍ය බව තමා විශ්වාස කරන බවද ඔහු එහි වැඩිදුරටත් සඳහන් කර තිබුණා.
එහෙත්, සමාගමේ මෙම ක්‍රියාමාර්ගය දැඩි විවේචනයට ලක් කරන ‘ස්ටාර්බක්ස් වර්කර්ස් යුනයිටඩ්’ වෘත්තීය සමිතිය පෙන්වා දෙන්නේ මෙය “කටයුතු ආපස්සට හැරවීමක්” බවයි.
වෙළෙඳසැල් සිය ගණනක සේවකයන් නියෝජනය කරන එම වෘත්තීය සමිතිය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, දෛනිකව පාරිභෝගිකයන් හා මුහුණට මුහුණලා කටයුතු කරන සේවකයන් කේන්ද්‍ර කර නොගෙන සමාගමේ ගැටලු විසඳිය නොහැකි බවයි.
මෙම ප්‍රතිව්‍යුහගත කිරීමේ පිරිවැයෙන් සියයට 90ක්ම උතුරු ඇමරිකානු ව්‍යාපාරික කටයුතු හා සම්බන්ධ බව ස්ටාර්බක්ස් සමාගම පවසනවා.
ඒ අනුව, සේවක වන්දි ගෙවීම් සඳහා ඩොලර් මිලියන 150ක් සහ වෙළෙඳසැල් වසා දැමීමට අදාළ වියදම් සඳහා ඩොලර් මිලියන 850ක් වැය වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.
මෙම කප්පාදු කිරීම් මධ්‍යයේ වුවද, ඉදිරි වසර තුළ “වඩාත් උණුසුම් සහ විවිධාංගීකරණය වූ නව සැලසුම්” යටතේ වෙළෙඳසැල් 1,000කට අධික සංඛ්‍යාවක් නවීකරණය කරන බවට ප්‍රධාන විධායක නිලධාරියා සහතිකයක් ලබා දී තිබෙනවා.
එක්සත් ජනපදය තුළ ස්ටාර්බක්ස් වෙළෙඳසැල් 650කට අධික ප්‍රමාණයක සේවකයන් මේ වන විට වෘත්තීය සමිතිගත වී ඇති අතර, ඔවුන් සිය ප්‍රථම වෘත්තීය සමිති ගිවිසුම සඳහා බලපෑම් කරමින් සිටිනවා.
පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී බ්‍රයන් නිකොල් ප්‍රධාන විධායක නිලධාරී ධුරයට පත්වීමෙන් පසු සමාගම සහ වෘත්තීය සමිතිය අතර පැවති සාකච්ඡා ඇනහිටි අතර, ඉන් අනතුරුව දෙසැම්බර් මාසයේදී සමාගම් ඉතිහාසයේ දැවැන්තම වැඩ වර්ජනය දියත් කිරීමට වෘත්තීය සමිතිය කටයුතු කළා.
මෙම තීරණ සිය සේවකයන්ට සහ ඔවුන්ගේ පවුල්වලට දැඩිව බලපාන බව තමා අවබෝධ කරගෙන සිටින බවත්, ඒවා කිසිසේත් සැහැල්ලුවෙන් නොගත් බවත් ප්‍රධාන විධායක නිලධාරී නිකොල් බ්‍රහස්පතින්දා අවධාරණය කළා.
මෙම නිවේදනයත් සමඟ ස්ටාර්බක්ස් සමාගමේ කොටස් වෙළෙඳපොළ මිල ගණන් සියයට එකකින් පහත වැටීමක් වාර්තා වුණා.