එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වැනි සැසිවාරය නිව්යෝර්ක් නුවරදී ආරම්භ වීමට දින දෙකක් ඉතිරිව තිබියදී බ්‍රිතාන්‍ය අගමැති ශ්‍රීමත් කීර් ස්ටාර්මර් අමෙරිකාවේ සහ ඊශ්‍රායලයේ දැඩි විරෝධය මැද පලස්තීනය ස්වාධීන රාජ්‍යයක් ලෙස බ්‍රිතාන්‍යය නිල වශයෙන් පිළිගැනීමේ නිවේදනය ඊයේ සිදු කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
පලස්තීනය භූමියේ ඊශ්‍රායල රාජ්‍යයක් බිහි කිරීම සඳහා වන ඓතිහාසික ප්රකාශනයකට සහාය පළ කිරීමෙන් වසර 100කට පසුව සහ පලස්තීනයේ ඊශ්‍රායල රාජ්‍යයක් බිහිවීමෙන් වසර 77කට පසුව බ්‍රිතාන්‍ය මේ පියවර ගෙන ඇති අතර, ඔහුගේ නිවේදනයට මොහොතකට පෙර කැනඩාව සහ ඔස්ට්‍රේලියාව ද පලස්තීනය නිල වශයෙන් පිළිගන්නා බව නිවේදනය කර තිබෙනවා.
G7 සංවිධානයට අයත් රටවල් අතරින් පලස්තීනය නිල වශයෙන් පිළිගත් පළමු රට බවට කැනඩාව පත්වූ අතර, බ්‍රිතාන්‍යය දෙවැනි රට බවට පත්වූ බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළා.
පලස්තීනය ස්වාධීන රාජ්‍යයක් ලෙස පිළිගැනීමට බ්‍රිතාන්‍ය පියවර ගැනීම ඊශ්‍රායලයේ දැඩි විරෝධතාවට ලක්වී ඇති අතර, එය ත්රස්තවාදයට සහාය පළ කිරීමක් වනු ඇතැයි ඊශ්‍රායල අගමැතිවරයා ප්‍රකාශ කර තිබෙනවා.
පසුගිය සතියේ බ්‍රිතාන්‍ය සංචාරයකට එක්වූ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද බ්‍රිතාන්‍ය අගමැතිවරයා සමඟ පැවැති ද්විපාර්ශ්වික සාකච්ඡාවේදී එම තීරණය සම්බන්ධව අප්‍රසාදය පළ කළ බව ද වාර්තා වනවා.
පෘතුගාලය සහ ප්‍රංශය ද පලස්තීනය නිල වශයෙන් පිළිගැනීමේ නිවේදනය සිදු කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.
ප්‍රංශය ද පලස්තීනය පිළිගැනීමෙන් පසු ආරක්ෂක කවුන්සිලයේ නිත්‍ය සාමාජිකයන් අතරින් පලස්තීනය ප්‍රතික්ෂේප කරන එක රට බවට අමෙරිකාව ඉතිරිවනු ඇතැයි ද වාර්තා වනවා.