භාරකරුවන් නොමැති ගෞතමාලා ජාතික දරුවන් 600කට වැඩි පිරිසක් නැවත සිය රටට පිටුවහල් කිරීම සඳහා ට්‍රම්ප් පරිපාලනය ගත් තීරණය අවසන් මොහොතේ එරට අධිකරණයක් මඟින් තාවකාලික තහනම් නියෝගයක් නිකුත් කිරීම හේතුවෙන් ඒ වනවිටත් ගුවන්යානයකට ගොඩනංවා සිටි දරුවන් නැවත ගොඩ බැස්සවීමට ටෙක්සාස් ගුවන්තොටුපොලේ පාලනාධිකාරියට සිදු වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
අනාථ දරුවන් නැවත ගෞතමාලා රාජ්‍යයට යැවීමෙන් ඔවුන්ගේ ජීවිත අවදානමකට ලක්විය හැකි බවට දරුවන් වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥවරුන් පෙන්වා දුන් කරුණු සැලකිල්ලට ගනිමින් එම නියෝගය නිකුත් කර තිබෙන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ.
ගෞතමාලා අනාථ දරුවන් නැවත පිටුවහල් කිරීම අත්හිටුවනු ලැබුවේ තාවකාලිකව බව ප්‍රකාශ කර ඇති විනිසුරුවරයා, එම ගැටලුවට ස්ථීර තීන්දුවක් ලබා දෙනතුරු ඔවුන් ආරක්ෂාකාරීව රඳවා තබන බවට රජය සහතික විය යුතු බව ද සඳහන් කර තිබෙන බව ද වාර්තා වනවා.
ට්‍රම්ප් පරිපාලනයේ තීන්දුව දැඩි ලෙස විවේචනයට ලක් කරමින් සංක්‍රමණික දරුවන්ගේ අයිතීන් පිළිබඳ තරුණ මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂිකා ග්ලැඩිස් මොලිනා සඳහන් කර ඇත්තේ අමෙරිකාවේ සහ ජාත්‍යන්තර නීතියට අනුව එය පිටුවහල් කිරීම නොව භාරකරුවන් නොමැති අනාථ දරුවන් අතරමං කිරීමක් බවයි.
රැකවරණය බලාපොරොත්තුවෙන් අමෙරිකාවට සේන්දු වූ අනාථ දරුවන් නැවත පිටුවහල් කිරීමෙන් ට්‍රම්ප් පරිපාලනය නීතිය උල්ලංඝනය කරන බව ද ඇය වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.
පසුගිය අගෝස්තු මාසය වන විට භාරකරුවන් නොමැති අනාථ දරුවන් දෙදහසකට අධික සංඛ්‍යාවක් අමෙරිකාවේ සෞඛ්‍ය දෙපාර්තමේන්තු හා මානව හිමිකම් සේවා අධීක්ෂණය යටතේ රඳවා තබා සිටින බව ද වාර්තා වනවා.