එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලීස් හී වයඹ දෙසින් ඇති වී ඇති දරුණු ලැව් ගිනි හේතුවෙන් එම ප්‍රදේශය ආශ්‍රිතව පදිංචිකරුවන් දහස් ගණනක් ඉවත් කිරීමට පියවර ගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
කැනියොන් ගින්න ලෙස නම් කරන ලද මෙම ලැව්ගින්න පසුගිය බ්‍රහස්පතින්දා දහවල් එරට වෙන්දුරා සහ ලොස් ඇන්ජලීස් ප්‍රාන්තවල මායිම් ආශ්‍රිතව ඇවිළී ගොස් අක්කර 5,400කට ආසන්න ප්‍රමාණයක් දක්වා ව්‍යාප්ත වී තිබෙන බවයි වාර්තා වන්නේ.
මේ වන විට අදාළ බලධාරීන් ගින්න මැඩ පැවැත්වීමට පියවර ගනිමින් සිටින අතර විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ මේ වන විට ඉන් 28%කට ආසන්න ප්‍රමාණයක් මැඩ පැවැත්වීමට බලධාරීන් පියවර ගෙන ඇති බවයි.
අදාළ බලධාරීන් වාර්තා කර ඇත්තේ අධික උණුසුම් සහ වියළි කාලගුණය හේතුවෙන් ගිනි නිවීමේ කටයුතු සංකීර්ණ වී ඇති බවයි.
ඊයේ දිනවන විට ගිනි නිවීමේ භටයින් 400ක් පමණ ගින්න නිවා දැමීම සඳහා දැඩි මෙහෙයුම් රැසක්ද දියත් කර තිබෙන බව සඳහන් වෙනවා.
කෙසේ නමුත් ගින්න තවමත් සක්‍රීයව පවතින අතර ලොස් ඇන්ජලීස් ප්‍රාන්තයේ කැස්ටයික් දෙසට නැගෙනහිරට පැතිර යන බවද බලධාරීන් පවසා තිබෙනවා.
මේ අතර ඉදිරි දිනවලදී උෂ්ණත්වය 100°F (37.7°C) දක්වා ඉහළ යනු ඇතැයි පුරෝකථනය කර ඇති අතර මේ හේතුවෙන් අවට පදිංචිකරුවන්ට සිය ප්‍රදේශ ආශ්‍රිතව දැඩි අවධානයෙන් සිටින ලෙසද දන්වා ඇති බවයි සඳහන් වන්නේ.
කැලිෆෝනියාවේ ලැව්ගිනි බහුලව දක්නට ලැබෙන අතර මේ වසරේ ජනවාරි මාසයේදී ලොස් ඇන්ජලීස් ආශ්‍රිතව පැතිර ගිය ගින්නෙන් අවම වශයෙන් පුද්ගලයින් 31 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තවත් දහස් ගණනක ගොඩනැගිලිද විනාශයට පත්වී තිබෙනවා.