වසර 2030 වන විට සඳ මත න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරකයක් ඉදිකිරීමේ සැලසුම් කඩිනම් කිරීමට අමෙරිකානු අභ්‍යවකාශ ඒජන්සිය වන NASA ආයතනය කටයුතු කරන බව අමෙරිකානු මාධ්‍ය වාර්තා කරනවා.
ඒ හරහා චන්ද්‍ර පෘෂ්ඨයේ මිනිසුන්ට ජීවත් වීම සඳහා ස්ථිර කඳවුරක් ගොඩනැගීම එක්සත් ජනපද අභිලාෂයන්ගේ කොටසක් බවයි වාර්තා වන්නේ.
නාසා හි වැඩබලන ප්‍රධානියා චීනය සහ රුසියාව විසින් සිදු කරන ලද සමාන සැලසුම් ගැන සඳහන් කළ අතර එම රටවල් දෙකටම සඳ මත “නිරෝධායන කලාපයක් ප්‍රකාශයට පත් කළ හැකි” බවයි පැවසුවේ.
නමුත් NASA ආයතනයේ මෑත කාලීන සහ දැඩි අයවැය කප්පාදුව සැලකිල්ලට ගත් විට, ඉලක්කය සහ කාල රාමුව කෙතරම් යථාර්ථවාදීද යන්න පිළිබඳව ප්‍රශ්න තවමත් පවතින බව වාර්තා වනවා.
අමෙරිකා එක්සත් ජනපදය, චීනය, රුසියාව, ඉන්දියාව සහ ජපානය ඇතුළු රටවල් සඳ මතුපිට ගවේෂණය කිරීමට ඉක්මන් වෙමින් සිටින අතර සමහරු ස්ථිර මිනිස් ජනාවාසද සැලසුම් කර තිබෙන බව ද සඳහන්.
2022 දී නාසා ආයතනය ප්‍රතික්‍රියාකාරකයක් සැලසුම් කිරීම සඳහා සමාගම්වලට ඩොලර් මිලියන 5 ක කොන්ත්‍රාත්තු තුනක් නිකුත් කළා.
මේ වසරේ මැයි මාසයේදී චීනය සහ රුසියාව 2035 වන විට සඳ මත ස්වයංක්‍රීය න්‍යෂ්ටික බලාගාරයක් ඉදිකිරීමට සැලසුම් කරන බව නිවේදනය කළා.
චන්ද්‍ර පෘෂ්ඨය මත අඛණ්ඩ බලය සැපයීමට හොඳම හෝ සමහරවිට එකම ක්‍රමය එය බවයි බොහෝ විද්‍යාඥයෝ එකඟ වන්නේ.
එක් චන්ද්‍ර දිනයක් පෘථිවියේ සති හතරකට සමාන වන අතර, එය සති දෙකක අඛණ්ඩ හිරු එළියකින් සහ සති දෙකක අන්ධකාරයෙන් සමන්විත වනවා.
එම නිසා සූර්ය බලශක්තිය මත යැපීම ඉතා අභියෝගාත්මක වනවා.