ගාසා තීරයේ උද්ගත වී ඇති මානුෂීය අර්බුදයට එරෙහිව ඊශ්‍රාලයේ දහස් සංඛ්‍යාත ජනතාව ඊයේ එරට ආරක්ෂක අමාත්‍යාංශය දක්වා විරෝධතා රැලියක නිරත වූ බව එරට හාරිට්ස් පුවත් සේවය වාර්තා කරනවා.
ඊශ්‍රායලයේ ‘ස්ටෑන්ඩින් ටුගෙදර්‘ යුදෙව් සහ අරාබි ව්‍යාපාරය සංවිධාන කරනු ලැබූ එම විරෝධතා රැලියේදී ගාසා තීරයේ දරුවන් හා වැඩිහිටියන් සාගින්නේ මිය යෑම මුල් කරමින් රජයට එරෙහිව එම විරෝධතා රැලිය පවත්වා තිබෙන බවයි හාරිට්ස් පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළේ.
දරුවන්ගේ ජීවිත බිල්ලට දී යුද්ධයක් ජයගත නොහැකි බව සඳහන් විරෝධතා පූවරු හා මන්දපෝෂණයට ගොදුරු වූ ගාසා දරුවන්ගේ ඡායාරූප ප්‍රදර්ශන කරමින් ඊශ්‍රායල ජාතිකයන් සාගින්නෙන් පීඩා විඳින පලස්තීනුවන්ට සිය සහයෝගය පළ කළ බවත්, ටෙල් අවීව් නුවර හබීමා චතුරස්‍රය අසල එක්රොක් වී රජයට එරෙහිව උද්ඝෝෂණයක නිරත වූ බවත් එම පුවත් සේවය සඳහන් කළා.
අපට අවශ්‍ය වන්නේ ගාසා තීරයේ ප්‍රතිපත්තිය විනාශ කිරීම මිස දරුවන් හා සිවිල් වැසියන්ගේ ජීවිත විනාශ කිරීම නොවන බවත්, මනුෂ්‍යත්වයට ප්‍රමුඛතාව ලැබිය යුතු බවත් ස්ටෑන්ඩින් ටුගෙදර් ව්‍යාපාරයේ සම අධ්‍යක්ෂ ඇලන් ලී ග්‍රීන් ප්‍රකාශ කළ බවයි හාරිට්ස් පුවත් සේවය වාර්තා කළේ.
“රජය කියන්නේ ඊශ්‍රායල හමුදාව ගාසා තීරයේ ප්‍රහාර සිදුකරන්නේ අපගේ ආරක්ෂාව වෙනුවෙන් බවයි. මේ යුද්ධය ඊශ්‍රායලයෙන් පැහැරගත් ප්‍රාණඇපකරුවන් නැවත මුදා ගැනීමට බවයි. එහෙත් දැන් වසර 2ක් පුරා ඔවුන් මේ ප්‍රකාශය සිදු කරමින් සිටිනවා. ඒත් මේ සිදුවන්නේ මනුෂ්‍යත්වයට එරෙහි යුද්ධයක්. සියලු ඊශ්‍රායල ජාතිකයන් මේ යථාර්ථය තේරුම් ගත යුතුයි. ගාසාවේ හමුදා සේවය ප්‍රතික්ෂේප කළ යුතුයි. ගාසා තීරයට ඇතුළුවන සෑම ඊශ්‍රායල සෙබළෙක්ම යුද අපරාධවලට හවුල්වීමෙන් වැළකිය යුතුයි.” ලෙස ස්ටෑන්ඩින් ටුගෙදර් ව්‍යාපාරයේ සම අධ්‍යක්ෂ ඇලන් ලී ග්‍රීන් වැඩිදුරටත් එසේ ප්‍රකාශ කළ බව හාරිට්ස් පුවත් සේවය සඳහන් කළා.