ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන්ගේ බිරිඳ වන බ්‍රිජිට් මැක්‍රොන්, උපතින් පුරුෂයෙකු බවට අසත්‍ය ප්‍රචාරයක් ගෙන ගිය YouTube ක්‍රියාකාරිනියන් දෙදෙනෙකුට එරෙහිව එරට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩුවක් ගොනු කර තිබෙනවා.
එම කාන්තාවන් ප්‍රකාශ කර තිබුණේ බ්‍රිජිට් මැක්‍රොන් ලිංගික අනන්‍යතාවය වෙනස් කරගැනීමෙන් අනතුරුව ජනාධිපතිවරයා සමඟ විවාහ වූ බවයි.
මෙම ආන්දෝලනාත්මක සිදුවීම ආරම්භ වන්නේ 2021 දෙසැම්බර් මාසයේදී, අමන්ඩින් රෝයි නම් YouTube ක්‍රියාකාරිනියක්, නටාෂා රේ නම් මාධ්‍යවේදිනියක් සමඟ පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවක් සමඟයි.
පැය හතරක් පුරා පැවති එම සාකච්ඡාවේදී නටාෂා රේ ප්‍රකාශ කළේ බ්‍රිජිට් යනු සැබවින්ම කාන්තාවක් නොව, ‘ජෝන්-මිෂෙල් ට්‍රොග්නෙක්ස්’ නම් වූ පුරුෂයෙකු බවයි.
කෙසේ වෙතත්, ජෝන්-මිෂෙල් ට්‍රොග්නෙක්ස් යනු බ්‍රිජිට් මැක්‍රොන්ගේම සහෝදරයාගේ නම වීම විශේෂත්වයක්.
මෙම චෝදනාවලට එරෙහිව බ්‍රිජිට් මැක්‍රොන් පැරිස් අධිකරණයක නඩු පැවරූ අතර, 2023 සැප්තැම්බර් මාසයේදී එම කාන්තාවන් දෙදෙනා වරදකරුවන් බවට තීන්දු කෙරුණා.
එහිදී බ්‍රිජිට් මැක්‍රොන්ට සහ ඇගේ සහෝදරයාට වන්දියක් ගෙවන ලෙසද නියෝග කෙරුණා.
නමුත්, පැරිස් අභියාචනාධිකරණයක් විසින් එම තීන්දුව මේ වසරේ ජූලි 10 වන දා අවලංගු කළ අතර එම තීන්දුවට එරෙහිව බ්‍රිජිට් මැක්‍රොන් සහ ඇගේ සහෝදරයා මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කර තිබෙනවා.
මෙම කුමන්ත්‍රණ න්‍යාය අමරිකාව තුළද වේගයෙන් ව්‍යාප්ත වූ අතර, ඩොනල්ඩ් ට්‍රම්ප් හිතවාදී මාධ්‍යවේදීන් වන කැන්ඩේස් ඕවන්ස් සහ ටකර් කාල්සන් විසින් එයට විශාල ප්‍රචාරයක් ලබා දුන්නා.
මෙය මානව ඉතිහාසයේ විශාලතම දේශපාලන අපවාදය බවට පවා ඔවුන් ප්‍රකාශ කර තිබුණා.
බ්‍රිජිට් සහ ඇගේ සහෝදරයා යනු එකම පුද්ගලයෙකු බවත්, ඇය සිය වෘත්තීය ගෞරවය පරදුවට තබා එය ඔප්පු කරන බවත් ඕවන්ස් ප්‍රකාශ කළා.
මෙම ප්‍රකාශයන්ට එරෙහිව බ්‍රිජිට් මැක්‍රොන්ගේ නීති කණ්ඩායම ක්‍රියාත්මක වූ අතර, ඕවන්ස්ට ප්‍රංශ ජනාධිපතිවරයාගේ නීතීඥයින්ගෙන් නීතිමය දැනුම්දීමක්ද ලැබී තිබුණා.
එම දැනුම්දීමේ සඳහන් වූයේ බ්‍රිජිට් මැක්‍රොන් තම කාන්තාභාවය කිසිවෙකුට ඔප්පු කිරීමට අවශ්‍ය නොවන බවත්, ඕවන්ස්ගේ හැසිරීම අපහාසාත්මක බවයි.
එසේ වුවද, ඕවන්ස් එම ප්‍රචාරක ව්‍යාපාරයෙන් ඉවත් නොවී “Becoming Brigitte” නමින් යූටියුබ් වීඩියෝ මාලාවක් පවා පවත්වාගෙන ගියා.
මෙවැනි අනන්‍යතාවය හා සම්බන්ධ කටකතා බ්‍රිජිට් මැක්‍රොන්ට පමණක් සීමා වූවක් නොවේ. ජීව විද්‍යාත්මකව කාන්තාවන් ලෙස උපත ලද ප්‍රසිද්ධ චරිත, සංක්‍රාන්ති ලිංගිකයන් ලෙස අසත්‍ය ලෙස හංවඩු ගසන මෙවැනි කුමන්ත්‍රණ ‘ට්‍රාන්ස්වෙස්ටිගේෂන්’ (transvestigation) ලෙස හැඳින්වෙනවා.
මීට පෙර මිෂෙල් ඔබාමා, ජසින්ඩා ආඩර්න් සහ මෙලනියා ට්‍රම්ප් වැනි ඉහළ පෙළේ කාන්තාවන්ද මෙවැනිම අසත්‍ය ප්‍රචාරවලට ගොදුරු වී තිබුණා.
මෙම චෝදනාව මුලින්ම 2017 වසරේදී ගෙන ආ ප්‍රංශ මාධ්‍යවේදිනී නටාෂා රේ, මේ වසර මුලදී රුසියාවෙන් දේශපාලන රැකවරණ ඉල්ලා තිබීමද කැපී පෙනෙන සිදුවීමක්.
ප්‍රංශය තුළ තමන්ට හිංසා පීඩා සිදුවන බවත්, භාෂණයේ නිදහස ආරක්ෂා කරන ශ්‍රේෂ්ඨ ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් ලෙස තමන් රුසියාව දකින බවත් ඇය රුසියානු මාධ්‍ය වෙත පවසා තිබුණා.
ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් සහ ඔහුගේ බිරිඳ අතර ඇති වයස් පරතරය නිරන්තරයෙන්ම සමාජ මාධ්‍ය තුළ කතාබහට ලක්වන මාතෘකාවක්.
බ්‍රිජිට්, ජනාධිපති මැක්‍රොන්ට වඩා වසර 24කින් වැඩිමහල්ය. 1992 වසරේදී 15 හැවිරිදි එමානුවෙල් මැක්‍රොන්ට, බ්‍රිජිට් ට්‍රොනියු හමුවන විට ඇය 39 හැවිරිදි වියේ පසුවූ අතර, ඇය ඔහුගේ පාසලේ ප්‍රංශ සහ නාට්‍ය ගුරුවරිය විය. එමෙන්ම බ්‍රිජිට්ගේ දියණිය, මැක්‍රොන්ගේ පන්ති සගයෙකුද වූවා.
ඔවුන් දෙදෙනාගේ සමීපත්වය ආරම්භ වූයේ පාසලේ නාට්‍ය සමාජය හරහායි. මෙම සබඳතාවය පිළිබඳව පාසල තුළ පැතිර ගිය ආරංචි සමග, එමානුවෙල්ගේ දෙමව්පියන් එයට විරුද්ධ වූ අතර ඔහුව පැරිස් නුවරට යැවීමට කටයුතු කළ අතර දුරස්ව සිටියදී පවා ලිපි සහ දුරකථන ඇමතුම් හරහා ඔවුන් සම්බන්ධතාවය පවත්වාගෙන ගොස් තිබෙනවා.
වසර ගණනාවකට පසු, බ්‍රිජිට් 2006 වසරේදී සිය බැංකුකරුවෙකු වූ සැමියාගෙන් දික්කසාද වූ අතර, ඉන් වසරකට පසුව 2007දී ඔවුන් විවාහ වුණා.
ඒ වන විට එමානුවෙල් මැක්‍රොන් 29 හැවිරිදි වියේ පසුවූ අතර බ්‍රිජිට්ගේ වයස අවුරුදු 54ක් වූ අතර විවාහයෙන් පසු, බ්‍රිජිට් සිය ගුරු වෘත්තියෙන් ඉවත් වූ අතර, එතැන් සිට ප්‍රංශයේ ජනාධිපති ආර්යාව ලෙස සිය වගකීම් ඉටුකරමින් සිටිනවා.