Latest News

ඉරාන හැකර් කණ්ඩායමකින් ට්‍රම්ප්ට අනතුරු ඇඟවීමක්

Published 5 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඉරානයට සම්බන්ධ හැකර්වරුන් කණ්ඩායමක් එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ කාර්යාලයෙන් සොරකම් කරන ලද තවත් විද්‍යුත් තැපැල් පණිවිඩ හෙළි කරන බවට තර්ජනයක් කර ත තිබෙනවා.

2024 එක්සත් ජනපද මැතිවරණයට පෙර මාධ්‍ය වෙත සොරාගත් විද්‍යුත් තැපැල් පණිවිඩ තොගයක් නිකුත් කිරීමටද මෙම කණ්ඩායම මින් පෙර කටයුතු කර තිබුණා.

‘රොබට්’ යන අන්වර්ථ නාමයෙන් පෙනී සිටින මෙම හැකර්වරුන්, ඉරිදා සහ සඳුදා දිනවල රොයිටර් පුවත් සේවය සමඟ පැවැත්වූ මාර්ගගත සංවාදවලදී පවසා සිටියේ, ධවල මන්දිර කාර්ය මණ්ඩල ප්‍රධානී සූසී වයිල්ස්, ට්‍රම්ප්ගේ නීතිඥ ලින්ඩ්සේ හැලිගන්, ට්‍රම්ප්ගේ උපදේශක රොජර් ස්ටෝන් සහ අසභ්‍ය චිත්‍රපට නිළියකගෙන් ට්‍රම්ප් විරෝධවාදිනියක බවට පත් වූ ස්ටෝමි ඩැනියල්ස්ගේ ගිණුම්වලින් ලබාගත්, ආසන්න වශයෙන් ගිගාබයිට් 100ක විද්‍යුත් තැපැල් දත්ත ප්‍රමාණයක් තමන් සතුව පවතින බවයි.

‘රොබට්’ මෙම දත්ත අලෙවි කිරීමේ හැකියාව පිළිබඳව ඉඟි කර ඇති නමුත්, ඒ හැර සිය සැලසුම් පිළිබඳව වෙනත් විස්තර ලබා දී නැහැ.

එම විද්‍යුත් තැපැල් පණිවිඩවල අන්තර්ගතය කුමක්දැයි හැකර්වරුන් විස්තර කර නැහැ.

එක්සත් ජනපද නීතිපති පැම් බොන්ඩි මෙම අනවසරයෙන් ඇතුළු වීම “හෘද සාක්ෂියට එකඟ නොවන සයිබර් ප්‍රහාරයක්” ලෙසයි හඳුන්වා දුන්නේ.

ධවල මන්දිරය සහ FBI ආයතනය මේ සඳහා ප්‍රතිචාර දැක්වූයේ FBI අධ්‍යක්ෂ කාෂ් පටෙල්ගේ ප්‍රකාශයක් නිකුත් කරමින්. “ජාතික ආරක්ෂාවට අදාළ ඕනෑම ආකාරයක කඩකිරීමකට සම්බන්ධ ඕනෑම අයෙකු පිළිබඳව පූර්ණ විමර්ශනයක් සිදු කර නීතියේ උපරිමයෙන් නඩු පවරනු ඇත,” යනුවෙන්.

හැලිගන්, ස්ටෝන්, ඩැනියල්ස්ගේ නියෝජිතයෙකු සහ එක්සත් ජනපද සයිබර් ආරක්ෂණ ඒජන්සිය (CISA) අදහස් දැක්වීම සඳහා කළ ඉල්ලීම්වලට ප්‍රතිචාර දක්වා නැහැ.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉරාන දූත මණ්ඩලය ද මේ පිළිබඳව අදහස් දැක්වීම සඳහා යොමු කළ පණිවිඩයකට පිළිතුරු ලබා දී නොමැති අතර තෙහෙරානය මීට පෙර සයිබර් ඔත්තු බැලීමේ චෝදනා ප්‍රතික්ෂේප කර තිබෙනවා.

‘රොබට්’ හැකර් කණ්ඩායම පළමුවරට කරළියට පැමිණියේ 2024 ජනාධිපතිවරණ ව්‍යාපාරයේ අවසන් මාස කිහිපයේදීයී.

එහිදී ඔවුන් වයිල්ස් ඇතුළු ට්‍රම්ප්ගේ මිත්‍ර පාක්ෂිකයින් කිහිප දෙනෙකුගේ විද්‍යුත් තැපැල් ගිණුම්වලට අනවසරයෙන් ඇතුළු වූ බවට ප්‍රකාශ කළා.

පසුව එම හැකර්වරුන් විසින් විද්‍යුත් තැපැල් පණිවිඩ මාධ්‍යවේදීන් වෙත බෙදා හරිනු ලැබුවා.

පසුගිය වසරේදී කාන්දු වූ මෙම ලේඛන යම් තරමක මාධ්‍ය ආවරණයක් ලබා ගත්ත ද, ට්‍රම්ප් ජයග්‍රහණය කළ ජනාධිපතිවරණ තරගය මූලික වශයෙන් වෙනස් කිරීමට ඒවා සමත් වුණේ නැහැ.

2024 සැප්තැම්බර් මාසයේදී එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද අධිචෝදනා පත්‍රයක දැක්වුණේ ‘රොබට්’ හැකර් මෙහෙයුම ඉරානයේ විප්ලවවාදී ආරක්ෂක බලකාය විසින් ක්‍රියාත්මක කරන ලද්දක් බවයි.

රොයිටර් පුවත් සේවය සමඟ පැවති සංවාදවලදී, හැකර්වරුන් එම චෝදනාව පිළිබඳව අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කළා.

ට්‍රම්ප්ගේ මැතිවරණ ජයග්‍රහණයෙන් පසුව, ‘රොබට්’ රොයිටර් පුවත් සේවයට පැවසුවේ තවදුරටත් කිසිදු තොරතුරක් කාන්දු කිරීමට සැලසුම් කර නොමැති බවයි.

පසුගිය මැයි මාසයේදී පවා, හැකර්වරුන් “මම විශ්‍රාම ගොස් සිටින්නේ, මිත්‍රයා” යනුවෙන් රොයිටර් පුවත් සේවයට දන්වා තිබුණා.

නමුත්, ඊශ්‍රායලය සහ ඉරානය අතර පැවති දින 12ක ගුවන් යුද්ධයෙන් සහ ඉන් අනතුරුව එක්සත් ජනපදය විසින් ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට බෝම්බ හෙලීමෙන් පසුව, මෙම කණ්ඩායම නැවත සන්නිවේදනය ආරම්භ කර තිබෙනවා.

මෙම සතියේ යොමු කළ පණිවිඩවල, ‘රොබට්’ පැවසුවේ තමන් සොරකම් කරන ලද විද්‍යුත් තැපැල් අලෙවියක් සංවිධානය කරමින් සිටින බවත්, රොයිටර් පුවත් සේවය විසින් “මෙම කරුණ ප්‍රචාරය කළ යුතු” බවයි.

ඉරාන සයිබර් ඔත්තු බැලීම් පිළිබඳව ලියා ඇති American Enterprise Institute ආයතනයේ විද්වතෙකු වන ෆ්‍රෙඩ්රික් කේගන් පැවසුවේ, මෙම ගැටුමෙන් තෙහෙරානයට බරපතල හානියක් සිදු වූ බවත්, ඔවුන්ගේ ඔත්තුකරුවන් තවත් එක්සත් ජනපද හෝ ඊශ්‍රායල ක්‍රියාමාර්ගයක් ඇති නොවන ආකාරයේ ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට උත්සාහ දරමින් සිටිනු ඇති බවයි.

World News

Send your contact Details Today