ශ්‍රී ලංකාව තුළ පැතිර යන කොවිඩ්-19 වෛරසයේ නව ප්‍රභේදය හේතුවෙන් මේ වන විට පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් තිබෙන බව සෞඛ්‍ය අංශ වාර්තා කරනවා.
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් වයඹ වෛද්‍ය පීඨයේ වෛද්‍ය විද්‍යාව පිළිබඳ ප්‍රධාන මහාචාර්ය දුෂාන්ත මැදගෙදර මහතා මෙම තොරතුරු අනාවරණය කළා.
“වෛරස් විද්‍යා ආයතනයේ දත්තවලට අනුව, මේ වන විට ශ්‍රී ලංකාවේ ශ්වසන රෝග ලක්ෂණ පෙන්වන රෝගීන්ගෙන් 9% සිට 13% දක්වා ප්‍රමාණයකට මෙම අලුත් කොවිඩ් ප්‍රභේදය ආසාදනය වී ඇත. එහෙත්, මෙම ආසාදනය බොහෝ දුරට බරපතළ නොවන තත්ත්වයක පවතින අතර, හානිකර තත්ත්වයන් ඉතාමත් අවමයි. කෙසේ වෙතත්, වයස අවුරුදු 65 ඉක්මවූ සහ ප්‍රතිශක්තිය අඩු පුද්ගලයින්ට මෙය බරපතළ විය හැකියි. එවැනි පුද්ගලයින් විශේෂයෙන් සැලකිලිමත් විය යුතුයි.” ලෙසයි ඔහු පැවසුවේ.
එමෙන්ම “ලංකාවේ වාර්තා වූ මරණ දෙකම සංකූලතා තිබූ රෝගීන්ට සීමා වී ඇත. මේ හැරුණු විට බරපතළ තත්ත්වයන් වාර්තා වී නොමැති බැවින් ජනතාව අනවශ්‍ය ලෙස කලබල විය යුතු නැත. එහෙත්, අවදානම් කාණ්ඩවලට අයත් පුද්ගලයින් මේ සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කළ යුතුයි.” ලෙස ද මහාචාර්යවරයා වැඩිදුරටත් සඳහන් කළා.
සෞඛ්‍ය අංශ ජනතාවට උපදෙස් දී ඇත්තේ, රෝග ලක්ෂණ මතු වුවහොත් වහාම වෛද්‍ය උපදෙස් ලබා ගන්නා ලෙසත්, මුඛ ආවරණ පැළඳීම, සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම, සහ එන්නත්කරණය තුළින් ආරක්ෂාව තහවුරු කර ගැනීම වැනි මූලික සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපැදීමටයි.
එසේම, සෞඛ්‍ය අමාත්‍යාංශය සහ වසංගත රෝග විද්‍යා අංශය එක්ව රෝගය පැතිරීම වැළැක්වීමට අවශ්‍ය පියවර ගනිමින් සිටිනවා.