වසර 5ක පමණ කාලයක් පැවති වාහන ආනයන සීමා ඉවත් කර මේ වන විට මාස කිහිපයක් ගතව ගොස් තිබෙනවා.
ඒ අනුව පෞද්ගලික ප්‍රවාහන කටයුතු සඳහා භාවිත කෙරෙන වාහන නැවත ආනයනය කිරීමට 2025 පෙබරවාරි මස 1 වන දා සිට අවසර ලැබුණා.
එහිදී කාර්, වෑන් ආදී මෝටර් වාහන, පොදු ප්‍රවාහන කටයුතු සඳහා යොදා ගන්නා බස් රථ, භාණ්ඩ ප්‍රවාහනය සඳහා යොදා ගන්නා මෝටර් වාහන, විශේෂ කාර්යයන් සඳහා යොදා ගන්නා රථ, ත්‍රී රෝද රථ, යතුරු පැදි සහ අනෙකුත් මෝටර් එන්ජින් භාවිත නොවන වාහන ආනයනය කිරීමට 2421/44 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් අවසර ලැබුණා.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව පෙබරවාරි, මාර්තු, අප්‍රේල් සහ මැයි යන මාස තුළ අලුතින් ලියාපදිංචි කර ඇති මෝටර් රථ ගණන 62,000 ඉක්මවනවා.
එම දත්ත අනුව, 2025 වසරේ මේ දක්වා ගත වූ කාලය තුළ සමස්තයක් ලෙස මෝටර් රථ 73,489ක් අලුතින් ලියාපදිංචි කර තිබෙනවා.
ඒ අතුරින් වැඩි ම සංඛ්‍යාවක් ඇත්තේ මෝටර්සයිකල් ය.
ජනවාරි සිට මැයි දක්වා අලුතින් ලියාපදිංචි කර ඇති මෝටර්සයිකල් ගණන 58,943ක් වනවා.
ඒවා වැඩි ම ගණනක් ලියාපදිංචි කර ඇත්තේ අප්‍රේල් මාසයේදී වන අතර එම ගණන 13,126ක්.
කෙසේ වෙතත්, මැයි මාසය වන විට එම ගණන 11,825 දක්වා පහත වැටී තිබෙනවා.
එමෙන්ම ජනවාරි සිට මැයි දක්වා වූ කාල සීමාව තුළ අලුතින් ලියාපදිංචි කර ඇති කාර් ගණන 7,542ක්.
ඉන් වැඩි ම ගණනක් ලියාපදිංචි කර ඇත්තේ මැයි මාසයේදී වන අතර එම ගණන 4,502ක් වනවා.
ජනවාරි මස සිට මැයි දක්වා දත්ත නිරීක්ෂණය කිරීමේදී අලුතින් ලියාපදිංචි කළ කාර් සංඛ්‍යාවේ වැඩි වීමක් පෙන්නුම් කරනවා.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දත්ත පෙන්වා දෙන්නේ, ජනවාරි මස සිට මැයි මස දක්වා එන්ජින් ධාරිතාව 1000ට අඩු සහ විදුලි මෝටර් රථ 4,367ක් අලුතින් ලියාපදිංචි කර ඇති බවයි.
ආනයන සීමා ලිහිල් කළ පෙබරවාරි මස සිට මැයි දක්වා ලියාපදිංචි කර ඇති එම මෝටර් රථ ගණන 4,360ක් බව එහි දැක්වෙනවා.
එන්ජින් ධාරිතාව 1,000ට අඩු සහ විදුලි මෝටර් රථ අලුතින් ලියාපදිංචි කිරීමේ වැඩි වීමක් දත්ත දෙස බැලීමේදී නිරීක්ෂණය වන අතර මැයි මාසයේදී පමණක් එම කාණ්ඩවලට අයත් මෝටර් රථ 2,665ක් ලියාපදිංචි කර තිබෙනවා.
මේ අතර මෙම වසරේ ජනවාරි මස සිට ජූනි 3 වන දා දක්වා වාහන ආයනය මගින් රුපියල් බිලියන 132ක බදු ආදායමක් උපයා ඇති බව ශ්‍රී ලංකා රේගුව පවසනවා.
වාහනය ආනයනය සීමා කර තිබුණු කාලය තුළ ද විශේෂ කාර්යයන් සඳහා අවශ්‍ය මෝටර් රථ මෙරටට ආනයනය කළ බව ත් ඒ අනුව, ජනවාරි මාසය ද ඇතුළුව මෙම බදු ආදායම ගණනය කර ඇති බව ත් ඔහු වැඩිදුරටත් පැවසුවා.