පුරා මාස 06 ක පමණ කාලයක් තිස්සේ පැවති ශ්‍රීපාද වන්දනා සමය වෙසක් පුන් පෝය දින, එනම් හෙට (12) දිනයෙන් නිමාවට පත් වීමට නියමිතයි.
ඒ අනුව, වෙසක් පුන් පෝය දිනට පසුදින දහවල් ශ්‍රීපාදස්ථානාධිපති, බෙංගමුවේ ශ්‍රී ධම්මදින්න නායක හිමියන්ගේ අනුශාසනා මත ශ්‍රීපාද උඩ මළුවේදී සධාතුක කරඬුවට හා ශ්‍රී සුමන සමන් දෙවියන්ගේ රන් මුවා පිළිමයට බෞද්ධ වත් පිළිවෙත් අනුව වන්දනාවාරය නිමා කිරීමට ප්‍රථම චාරිත්‍රාණුකූල පුද පූජා පැවැත්වීම සිදු කෙරෙනවා.
ඉන් අනතුරුව සධාතුක කරඬුව, සමන්දේව රුව හා දේවාභරණ රැගත් විශේෂ පෙරහැර පැල්මඬුල්ල ගල්පොත්තාවෙල ශ්‍රීපාද රජමහා විහාරය දක්වා වැඩම කිරීම සඳහා ශ්‍රීපාදස්ථානයේ සිට නල්ලතන්නිය ශ්‍රීපාද ධර්ම මධ්‍යස්ථානය වෙත එදින පස්වරුවේ ගමන් ආරම්භ කරනු ලබනවා.
ශ්‍රීපාද ධර්ම මධ්‍යස්ථානයේ සිට විශේෂ රියක තැන්පත් කරන සධාතුක කරඬුව, සමන් දේව පිළිමය හා දේවාභරණ එක් පෙරහැරක් මාවුස්සාකැලේ, ලක්ෂපාන, කළුගල, අවිස්සාවේල්ල මාර්ගයෙන් හා අනෙක් පෙරහැර මස්කෙළිය, නෝර්වූඩ්, බගවන්තලාව, බලංගොඩ මාර්ගයෙන් පැල්මඬුල්ල ගල්පොත්තාවෙල ශ්‍රීපාද රජමහා විහාරය දක්වා වැඩම කෙරෙනු ඇති.
මෙම පෙරහැරවල් දෙකට සමගාමිව පෙර වසරවලදී මෙන්ම මෙවරද ශ්‍රීපාද උඩමළුවේ සිට එරත්න – රත්නපුර මාර්ගයෙන්ද සමන්දේව රුව හා දේවාභරණ රැගත් විශේෂ පෙරහැරක් ගල්පොත්තාවෙල ශ්‍රීපාද රජමහා විහාරය දක්වා වැඩම කිරීම සිදු කරනු ලබනවා.
ශ්‍රීපාද වන්දනා සමය නිමා කිරීමෙන් අනතුරුව සධාතුක කරඬුව, ඓතිහාසික ශ්‍රී සුමන සමන්දේවියන්ගේ රන්මුව පිළිමය හා දේවාභරණ ශ්‍රීපාද අවාර සමයේ පැල්මඬුල්ල ගල්පොත්තාවෙල ශ්‍රීපාද රජමහා විහාරයේ සමන්දේවාලයේ තැන්පත් කෙරෙනවා.